සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1230

මාලක්කම

නා. පිනුම ; කරණම ; අඩව්ව.

මාලය

නා. ශරීර අලංකාරය සඳහා ගෙල පළඳින ආභරණයක්.

මාලාගෝපකයා

නා. මල්වතු රැකබලා ගන්නා තැනැත්තා ; මල්ගොව්වා.

මාලාදාමය

නා. මල්දම ; මල්මාලාව.

මාලාබන්ධය

1. නා. සූසැට කලා ශිල්පවලින් එකක් වූ මල්දම් ගෙතීම ; මාලාකර්මය.
2. මාලාවක් සේ නිසි පරිදි අක්ෂර යොදා රචිත ශ්ලෝක ආදිය.

මාලාව

1. නා. මල්දම ; මල්වැල.
2. මල් මැණික් ආදියෙන් සෑදූ වැල ; දාමය ; ආවලිය.
3. පෙළ ; පන්තිය.
4. ධාරා සේ පවත්නා රාශිය.
5. සමූහය ; රාශිය.
6. මැණික් ඉල්ලමට යටින් තිබෙන මැට්ට.
7. දඹදිව අවන්ති ජනපදය.

මාලිනී

1. නා.ප්‍ර. මල් ඇත්තී ; මල් දරන්නී.
2. සංස්කෘතික කාව්‍ය වෘත්තයක නාමය.
වි. ගැවසුණු මල් ඇති ; මලින් පිරුණු.

මාලු

1. වි. (බෞද්ධ භික්ෂුවරයකු) අධි-ශීල හෙවත් උපසම්පන්න බවට පැමිණි.
2. මහලු ; වයසින් මුහුකුරා ගිය ; වයස්ගත ; වෘද්ධ.
3. අබලන්; පැරැණි ; දිරාගිය.
4. ප්‍රථම නොවූ ; දෙවැනි.
1. නා.ප්‍ර. ශරීර මාංසය ; ඇඟ මස.
2. මාලුවා.

මාලු අයින

නා.ප්‍ර. පවන ; වායුව ; සුළඟ.

මාලු පැවිජි

නා.ප්‍ර. අධිශීල සම්පන්න භික්ෂුව ; (උපසම්පන්න) මහතෙර.

මාලු වයස

නා. මහලු අවස්ථාව ; වෘද්ධ සමය ; වයස්ගත අවස්ථාව.

මාලුවා

නා. මත්ස්‍යයා ; මීනයා.

මාවටන්

නා.ප්‍ර. මවට කරන උවටැන ; මාතෘ උපස්ථානය.

මාවත

1. නා. (යන එන) මග ; මහ මග ; මහා මාර්ගය.
2. මහ වතක් හෙවත් ලොකු මුහුණක් ඇති බකමූණා.

මාවරය

1. නා. වැටක ඉනි පෙළක් සිටවා ඒවා එක සේ තද වීමට බඳින හරස් ලීය.
2. කුහරයක් හරහා තිබෙන දණ්ඩක් වැනි සෛලයක් හෝ අවයවයක්.

මාවුලාව

නා. කොට්ටය ; බිම්බෝහනය.

මාසක

1. නා.ප්‍ර. ධාන්‍ය විශේෂයක් වන මෑ.
2. පුරාණ ලෝහ කාසි වර්ගයක්.
3. ඔළිඳ ඇට දහයක බර.

මාසය

1. නා. අවුරුද්දක් බෙදා ඇති කොටස් දොළහෙන් එකක් වන සාමාන්‍යයෙන් දින 30ක හෝ සති 4ක කාලය.
2. චන්ද්‍රයා පොළව වටා එක් වරක් යාමට නොහොත් සූර්යයා එක් රාශියක් තුළ ගමන් කිරීමට ගතවන අටවිසි දිනක කාලය.

මාස් කන්නය

(කථා.) නා. ප්‍රධාන ශස්‍ය කාලය ; වී වපුරන ප්‍රධාන කාලය.

මාසික

වි. මාසයට අයත් ; මාස්පතා.

මාසේපෝය

නා. අමාවක පොහොය ; චන්ද්‍රයාගේ අව පක්ෂයේ පසළොස්වන දිනය ; චන්ද්‍රයා ලොවට නොපෙනෙන රැය සහිත දිනය.

මාහැඟි

වි. මහත් සේ අගය ඇති ; ඉතා වටිනා ; මහාර්ඝ ; උතුම්.

මාහිමි

1. නා.ප්‍ර. වැඩිහිටි භික්ෂූන් වහන්සේලා හඳුන්වන ගෞරව නාමය ; මහා ස්ථවිර; මහා තෙර.
2. පොළොන්නරු කාලයෙන් පසු මෙරට ශාසනයෙහි ඇති කළ උත්තරීතර සංඝ පදවිය.
3. මාගේ ස්වාමියා.

මාළු බීම

(ධීව.) නා. මසුන් බහුල තැන්.