සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1332

රසායනික ගුණය

(පාරිභා.) නා. මූල ද්‍රව්‍යවල ආවේණික ගති හා ස්වභාව.

රසායනික ජීර්ණය

(පාරිභා.) නා. පාෂාණවල රසායනික විපර්යාස ඇති කරවන දිරාපත් වීම.

රසායනික තුලාව

(පාරිභා.) නා. රසායන විද්‍යාවේ දී ඉතා නිවැරදි මිනුම් ලබාගැනීම භාවිත කරන පිණිස උපකරණය.

රසායනික ද්විත්ව වියෝජනය

(පාරිභා.) නා. රසායනික සංයෝග දෙකක් වියෝජනය වී නව සංයෝග දෙකක් බිහි වන සේ ප්‍රතික්‍රියා වීම.

රසායනික ද්‍රව්‍යමූල

(පාරිභා.) නා.ප්‍ර. ද්‍රව්‍යයන් සෑදී ඇති මූල පදාර්ථ ; සරල ද්‍රව්‍යවලට වියෝජනය කළ නොහැකි ද්‍රව්‍ය.

රසායනික ද්‍රාවණය

(පාරිභා.) නා. ද්‍රව්‍යයක රසායනික ප්‍රතික්‍රියා නිසා ඇතිවන නව ද්‍රාවණය.

රසායනික නාමාවලිය

(පාරිභා.) නා. රසායනික සංයෝග නම් වැල.

රසායනික නියමය

(පාරිභා.) නා. නිරීක්ෂණයට ලක් රසායනික කරුණු හෝ සංසිද්ධි රැසක සම්පිණ්ඩනය.

රසායනික පදාර්ථ

(පාරිභා.) නා.ප්‍ර. ද්‍රව්‍ය නිර්මාණය වී ඇති රසායනික මූල ද්‍රව්‍ය.

රසායනික ප්‍රතික්‍රියාව

(පාරිභා.) නා. ද්‍රව්‍යයක් අනෙක් ද්‍රව්‍යයක් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය ; මූලද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් හෝ රසායනික සංයෝග දෙකක් හෝ කීපයක් එකතුවීමෙන් නව සංයෝග එකක් හෝ කීපයක් ඇතිවීම.

රසායනික පෝර

(පාරිභා.) නා. රසායනික ද්‍රව්‍ය සංයෝග කොට සකස් කර ගන්නා පොහොර ; කෘත්‍රිම පෝර.

රසායනික බන්ධනය

(පාරිභා.) නා. අණුවක පරමාණු එකට අල්ලා තබන බලය.

රසායනික බලය

(පාරිභා.) නා. මූල ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා සිදු වීමට හෝ නොවීමට ඒ තුළ ඇති බලය.

රසායනික විපර්යාසය

(පාරිභා.) නා. යම් ද්‍රව්‍යයක් වෙනස්වීමේ දී මුළුමනින් ම අන්‍ය ගුණ ඇති අලුත් ද්‍රව්‍යයක් සෑදීම.

රසායනික වියෝජනය

(පාරිභා.) නා. සංකීර්ණ ද්‍රව්‍යයක් සරල ද්‍රව්‍ය දෙකකට හෝ වැඩි ගණනකට හෝ වෙන්වීම.

රසායනික විශ්ලේෂණය

(පාරිභා.) නා. රසායනික ද්‍රව්‍යයක ස්වරූපය, නිර්මිතය හා අන්තර්ගතය පිළිබඳ ව කරන විග්‍රහය.

රසායනික ශක්තිය

(පාරිභා.) නා. රසායනික ප්‍රතික්‍රියාවක දී මෝචනය වන ශක්තිය.

රසායනික සංකේතය

(පාරිභා.) නා. මූල ද්‍රව්‍ය හැඳින්වීමට භාවිත කරන අකුර හෝ අකුරු කිහිපය.

රසායනික සංඝටනාව

(පාරිභා.) නා. සංයෝගයක හෝ අණුවක, පරමාණු පිහිටා ඇති හෝ සම්බන්ධ වී ඇති ආකාරය ; අණුක ව්‍යූහය.

රසායනික සංයුතිය

(පාරිභා.) නා. යම් ද්‍රව්‍යයක ඇතුළත් ව ඇති මූල ද්‍රව්‍ය පිළිබඳවත් ඒවායේ ප්‍රතිශතය පිළිබඳවත් වූ විස්තරය.

රසායනික සංයෝගය

(පාරිභා.) නා. මූල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එක්තරා විධිමත් පිළිවෙළකට සම්බන්ධව අලුත් ද්‍රව්‍ය සෑදීම.

රසායනික සංයෝජනය

(පාරිභා.) නා. පරමාණු දෙකක් එක්වීමෙන් සෑදෙන සංයෝග ඇති වන හෝ සංයෝග එකතුවීමෙන් සංකීර්ණ සංයෝග හෝ ඇතිවන ප්‍රතික්‍රියාව.

රසායනික සන්නමනය

(පාරිභා.) නා. රසායනික උත්තේජනයක් හේතුකොට ගෙන ශාකයක අවයවයක පිහිටීම වෙනස් වීම.

රසායනික සමකය

(පාරිභා.) නා. සංයෝජනය වීමේ බර ; සමක භාරාංකය ; සංයෝජන භාරාංකය.