සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1331

රසයින්

නා.ප්‍ර. රස බෙහෙත ; ඉන්ද්‍රියයන් පිනවන දෙය.

රසරත්න

නා.ප්‍ර. රන් හා රුවන් ; රන්රුවන්.

රසල

නා. මුහුද ; සමුද්‍රය.

රසවත්

1. වි. ශෘඞ්ගාරාදි රසයෙන් යුක්ත.
2. රාගය ඇති.
3. ස්නේහ ඇති.
4. පඤ්චකාමයෙහි ඇලෙන.
5. මිහිරි රසැති ; කෑමට ප්‍රිය උපදවන.
6. ජලය ඇති ; ජලයෙන් යුත්.
7. ප්‍රීතිජනක ; හාස්‍යජනක.
1. නා.ප්‍ර. ශෘංගාර රසයෙන් යුතු අලංකාරය ; රසාලංකාරය.
2. හිරු ; සූර්යයා.

රසවාදය

නා. කාව්‍යයක එන රස පිළිබඳ උචිතතා ගුණය පිළිබඳ සංකල්පය හෙවත් මතය.

රසවැල

නා. නැට්ටුවන් පයෙහි බඳින ගෙජ්ජිවැල.

රසවිද්‍යාව

නා. රසායන විද්‍යාව.

රස්

1. නා.ප්‍ර. රශ්මිය ; කිරණ ; මරීචිය ; දීප්තිය.
2. සමූහය; රාශිය.
3. ජලය ; දිය.
4. රහු ගෙඩිය ; කිංකිණිය ; මිණිගෙඩිය ; ගෙජ්ජිය.
5. සුවඳ ; සුගන්ධය.
6. රාගය ; රතිය.
7. රුධිරය ; අරක්කැමියා.

රස් වළල්ල

(පාරිභා.) නා. 1. පූර්ණ සූර්යග්‍රහණයක් හේතුකොට ගෙන හිරු වටා පවතින බැව් විශේෂයෙන් පෙනෙන රැස් ධාරාව.
2. තුනී මීදුම ඔස්සේ බැලූ විට ඉරු හා සඳ වටේ පෙනෙන විවිධ වර්ණ මාලාව.

රස්නය

නා. උණුසුම.

රස්නා

නා.ප්‍ර. රශ්මියට නායකයා ; හිරු ; සූර්යයා.

රස්සාව

1. නා. ජීවිකා වෘත්තිය ; රැකියාව.
2. ආරක්‍ෂාව ; පරිස්සම ; රැකවරණය.

රසා

නා.ප්‍ර. පෘථිවිය ; ලෝකය.

රසාංකුරය

නා. ආහාරවල රස හඳුනා ගැනීම පිණිස විශේෂයෙන් ම දිවෙහි පිහිටි සංවේදී සෛල සමූහය.

රසාකර්ෂණය

[රස + ආකර්ෂණය]
(පාරිභා.) නා. පටලයක දෙපැත්තෙහි ද්‍රාවණවල සාන්ද්‍රණ සමාන කරනු පිණිස අර්ධ-පාරගම්‍ය පටලයක් තුළින් වඩා සාන්ද්‍ර ද්‍රාවණයට විසරණය වීම ; අභිසරණය ; ආසෘතිය.

රසාතල

නා.ප්‍ර. පොළොවේ යට තිබෙතැයි සැලකෙන ලෝකය ; නා ලොව ; නාග ලෝකය.

රසාධිශෝෂණය

[රස + අධිශෝෂණය]
(පාරිභා.) නා. අධිශෝෂණය වූ ද්‍රව්‍යය රසායනික බැඳීම් නිසා පෘෂ්ඨයෙහි රැඳී තිබීම.

රසාභාසය

නා. ශෘංගාරාදී කාව්‍ය රසයන්හි කාන්තිය හෙවත් ශෝභාව.

රසායන

1. වි. ජීව බලය ඇති කරන ; සිරුර බලවත් කරන ; ශක්ති වර්ධක.
2. රස ද්‍රව්‍යවලට අයත් ; රසායන විද්‍යාවට අයත්.
3. රසය ගෙන දෙන ; ආනන්දය ඇති කරන.
නා.ප්‍ර. රසායනික ප්‍රතික්‍රියාවලට භාජන වූ ද්‍රව්‍ය ; රසායන ද්‍රව්‍ය.

රසායනය

1. නා. නෙත් සිත් පිනවන දෙය.
2. රසායන විද්‍යාව ; රසවිද්‍යාව.
3. ජීව ශක්තිය ගෙන දෙන බෙහෙත.

රසායනාගාරය

(පාරිභා.) නා. රසායන විද්‍යාවට අදාළ වැඩ කටයුතු කරන පරීක්ෂණාගාරය.

රසායනික ආකර්ෂණය

(පාරිභා.) නා. මූල ද්‍රව්‍යවල හා සංයෝගවල සංඝටන අතර ඇදී බැඳී පවත්නා ගතිය.

රසායනික ආදේශය

(පාරිභා.) නා. අණුවක ඇති පරමාණුවක් හෝ කීපයක් වෙනුවට නව පරමාණුවක් හෝ කීපයක් ප්‍රතිෂ්ඨාපනය වීම.

රසායනික ආර්ද්‍රතාමානය

(පාරිභා.) නා. වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය මැනීමේ උපකරණය ; හයිග්‍රොමීටරය.