සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1333

රසායනික සමතුලිතාව

(පාරිභා.) නා. ප්‍රතික්‍රියාවක් නිසා බිහි වූ නව ඵල නැවත ප්‍රතික්‍රියාවීමෙන් මුල් ඵල බවට පත්වීම.

රසායනික සමීකරණය

(පාරිභා.) නා. රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන ආකාරය සංකේතාත්මක ව දැක්වීම.

රසායනික සාර්වසරණය

(පාරිභා.) නා. ජීවියකු යම් රසායනික උත්තේජනයක් නිසා නියමිත දිසාවකට ඇදී යාම.

රසායනික සූත්‍රය

(පාරිභා.) නා. අණුවක් සෑදී ඇති පරමාණු සංඛ්‍යාව පෙන්වීමට භාවිත කරන සංකේතය.

රසාරම්මණය

(පාරිභා.) නා. දිවෙන් විඳ ගන්නා රස ; රස අරමුණ.

රසාල

නා.ප්‍ර. රසාතලය.

රසාස්වාදනය

(පාරිභා.) නා. රසබර අත්දැකීමකින් ජනිත වන ප්‍රීති උද්දාමයෙහි වින්දනය ලබා ගැනීම ; රස වින්දනයෙහි යෙදීම.

රසික

1. වි. රසයෙන් යුත් ; රසවත්.
2. රසවිඳීමේ සමත් ; රසාස්වාදනයෙහි නියැළෙන.

රසිකයා

නා. රස විඳින්නා ; රස හඳුනන්නා.

රසිත

1. වි. රන් හෝ රිදී ආලේප කරනු ලැබූ.
2. ස්වර්ණාලිප්ත.
නා.ප්‍ර. මේඝ ගර්ජනා.

රසුව

1. නා. රංගුව ; කුඩා ගෙජ්ජිය ; මිණීගෙඩිය ; කිකිණිය.
2. කුඩා මිණී ගෙඩිවලින් යුත් ස්ත්‍රී ආභරණයක්.

රසෝද්ගමනය

[රස + උද්ගමනය]
නා. ශාකයක මූල කේශවලට උරාගන්නා ජලය, කඳ, අතු, කොළ ආදිය කරා ගෙනයෑම.

රහ

1. නා.ප්‍ර. දිවට දැනෙන රසය.
2. සුරාව ; රහමෙර ; මත්පැන් ; රා.
3. පාපය ; පව.

රහතන් වහන්සේ

නා.ප්‍ර. රහත් බවට පත් සියලු කෙලෙස් නැසූ උතුම් තැනැත්තා ; අරහත් මාර්ගයට පැමිණි පුද්ගලයා.

රහත්

වි. සියලු කෙලෙස් නැසූ ; අර්හත් හෙවත් රහත්ඵලය ලද.

රහත් බෝධිය

නා. රහත් හෙවත් අර්හත් මාර්ග ඥානය ; රහත් බව ; තුන්තරා බෝධියෙන් පළමුවැන්න.

රහත්පත්

වි. අර්හත් හෙවත් රහත් භාවයට පැමිණි.

රහද

නා.ප්‍ර. මුහුද.

රහමෙර

නා. මත්වන පාන වර්ග ; සුරාව.

රහස

1. නා. සැඟවිය යුතු කරුණ හෝ සිද්ධිය ; රහස්‍යය ; හෙළි කළ යුතු නැති දෙය.

රහසඟ

[රහස් + අඟ]
නා. පුරුෂ නිමිත්ත හෝ ස්ත්‍රී නිමිත්ත ; ලිංගේන්ද්‍රිය ; රහස්‍යාගය.

රහස් ඡන්දය

නා. රහසේ ලකුණු කිරීමෙන් දෙන ඡන්දය ; එම පත්‍රිකාව.

රහස් පොලිසිය

නා. අභිරහස් සිද්ධි ආදිය පිළිබඳ ව සොයා බලන ආරක්ෂක සංවිධානය ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව.

රහස් රෝග

නා.ප්‍ර. කාමයෙහි වරදවා හැසිරීමෙන් හටගන්නා බෝවන රෝග ; කාමරෝග.