සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 145

අභිධාවනය

නා. ඉදිරියට දිවීම; වේගයෙන් දිවීම.

අභිධෙය්‍ය

වි. සඳහන් කළ යුතු වූ; කිය යුතු වූ; ප්‍රකාශ කළ යුතු වූ.
1. නා.ප්‍ර. කිය යුත්ත; අභිප්‍රාය; අර්ථය; (ග්‍රන්ථාදියක) ඇතුළත් කරුණු.
2. (ව්‍යාක.) නා.ප්‍ර. නාමපදය; කර්තෘ පදය; උක්ත පදය.

අභිධෙය්‍යාර්ථය

නා. ප්‍රකාශිත අර්ථය; සම්මත අර්ථය.

අභිනන්දනය

1. නා. අධික ප්‍රීතිය; සන්තෝෂය; ප්‍රබෝධය.
2. නා. ගුණ ගායනය; ප්‍රශංසාව; ස්තුතිකරණය.
3. නා. සමාදරයෙන් පිළිගැනීම.

අභිනය

1. නා.ප්‍ර. ඉඟිය.
2. නා.ප්‍ර. රංගනයේ දී බැල්මෙන් හා අංග චලනයෙන් මනෝභාව නිරූපණය කිරීම; නෘත්‍යයේ දී දෘෂ්ටි විලාසයෙන් හා අංග චලනයෙන් හෘද්ගත භාවය දැක්වීම; නෘත්‍යයෙන් දක්වන රංගන ඉඞ්ගිතය.

අභිනයනය

(පාරිභා.) නා. වෙතට ඇද ගැනීම; ආකර්ෂණය (=adduction).

අභිනව

1. වි. අලුත්; නව; නවීන; නූතන.
2. වි. තරුණ; ළපටි; ළා.
3. වි. නුපුහුණු; ආධුනික.

අභින්දනීය

වි. බිඳිය නොහැකි; අභේද්‍ය.

අභින්න

1. වි. නොබිඳුණු; නොසිඳුණු; අවිච්ඡින්න; වෙන් නොවූ.
2. වි. නොවෙනස්; එක් වැනි; එක ම ආකාර.

අභින්නය

1. නා. නොසිඳින ලද නොහොත් නොබිඳින ලද දෙය; නොකැඩුණු දෙය; සමස්තය.
2. (පාරිභා.) නා. පූර්ණ සංඛ්‍යාව; අඛණ්ඩ ගණන.

අභින්නාර්ථය

[අභින්න + අර්ථය]
නා. (අලං.) පුනරුක්තිය; දශ වැදෑරුම් කාව්‍යදෝෂ අතරින් එකක්.

අභිනායක

(පාරිභා.) නා.ප්‍ර. වෙතට ඇද ගැනීම කරන්නා; ආකර්ෂකයා.

අභිනික්මන

නා.ප්‍ර.අබිනිෂ්ක්‍රමණය.

අභිනිම්න

වි. නැඹුරු වූ; නතු වූ; නම්න වූ.

අභිනිර්වර්තක

වි. ඉෂ්ට කරන; සිද්ධ කරන; ලබාදෙන; නිපදවන; එළවන.

අභිනිර්වෘත්තිය

නා. හටගැනීම; ඇති වීම; ඉපදීම; නිෂ්පාදනය.

අභිනිවර්ජනය

නා. සහමුලින් ම බැහැර කිරීම; නිරවශේෂයෙන් ඉවත ලීම; ප්‍රතික්ෂේපය.

අභිනිවිෂ්ට

වි. ඇතුළට බැස ගත්; දැඩිව ගත්; කා වැදුණු; එල්බ ගත්.

අභිනිවේශය

1. වි. එක ම කාරණයක තත්පර වීම; එල්බ සිටීම; එක ම කරුණක් ගැන නොපසුබට උත්සාහය.
2. වි. ප්‍රවේශය.
3. වි. ඇදහීම; විශ්වාසය.

අභිනිශ්‍රය

නා.ප්‍ර. පිහිට; ආශ්‍රය.

අභිනිෂ්ක්‍රමණය

නා. උතුම් අරමුණකින් නික්මයෑම; ගිහිගෙයින් පැවිදිවීම සඳහා නික්මයෑම; අබිනික්මන.

අභිනිෂ්පත්තිය

නා. සිදුවීම; නිපැදීම; නිෂ්පාදනය; සිද්ධිය.

අභිනීත

1. වි. ළඟට පමුණුවන ලද; ඉදිරියට පැමිණ වූ.
2. වි. සරසන ලද; සැරසූ.
3. වි. සුදුසු.
4. වි. කරුණාවන්ත.
5. වි. හික්මවූ.

අභිනීල

වි. අතිශයින් නිල්වන් වූ; තද කළු පැහැයෙන් යුත්.