සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1778

ස්වසන්තති

නා.ප්‍ර. තමාගේ පරම්පරාව.

ස්වස්ති

අව්‍ය. මංගල, ආශිර්වාද, ක්ෂේම ආදී අර්ථගෙන දෙන පදයක්.

ස්වස්තිකය

1. නා. යහපත, ශුභ සිද්ධිය පතා රන්, රිදී ආදී ලෝහයෙන් සාදනු ලබන මංගල වස්තුවක්.
2. බුදුන්ගේ ශ්‍රී පතුලේ සටහන්ව ඇති මඟුල් ලකුණක්.
3. යෝගාසන විශේෂයක්.

ස්වස්ථ

1. වි. ස්වභාවයෙන් සිටි ; මනාකොට පිහිටි.
2. සුඛිත වූ ; සනීපවත්.
නා.ප්‍ර. යහපත් බව ; සුඛිත භාවය.

ස්වස්ථතාව

1. නා. ශරීරය යහපත් අන්දමින් පවත්වා ගැනීම ; සෞඛ්‍යය.
2. සෞඛ්‍යය පිළිබඳ හැදෑරීම.

ස්වසාධනය

(පාරිභා.) නා. යමක් එයින්ම ඔප්පුවීම ; ස්වයං සාක්ෂිය ; ප්‍රත්‍යක්‍ෂය.

ස්වාක්ඛාත

වි. මනා කොට කියන ලද ; මැනවින් පවසන ලද.

ස්වාගතය

නා. සුව සේ පැමිණීම.

ස්වාදනය

(පාරිභා.) නා. රසවිඳීම.

ස්වාද්ධ්‍යායය

නා. තමන් ම කර ගන්නා ඉගෙනුම ; ස්වකීය උත්සාහයෙන් කරන අධ්‍යාපනය.

ස්වාදු

වි. රසවත් ; මිහිරි ; ප්‍රසන්න.

ස්වාධ්‍යයනය

[ස්ව + අධ්‍යයනය]
නා. තමන් ම කරන ඉගෙනීම ; තමා ම හැදෑරීම.

ස්වාධිකාරය

(පාරිභා.) නා. නිපදවීමක් හෝ සොයා ගැනීම්ක පිළිබඳ මහජනයා අතර ප්‍රචාරය හෝ එය අලෙවිය පිණිස අයිතිකරුට රජයෙන් දෙනු ලබන තනි අයිතිය පිළිබඳ සහතිකය ; පේටන්ට් බලපත්‍රය.

ස්වාධිපත්‍යය

නා. ස්වකීය පාලන ඒකාධිකාරය ; තමන් සතු ප්‍රභූත්වය.
වි. ස්වකීය පාලනය පවත්නා ; නිදහස් ; නිවහල්.

ස්වාධීන

වි. අනිකකුට යටත් නැති ; තම පාලනයේ පවතින ; ස්වතන්ත්‍ර ; නිදහස්.

ස්වාධීනත්වය

නා. අනුන්ගේ බලයට හෝ සිතුම්-පැතුම්වලට ගැති නොවන බව ; තමන්ගේ අධිපතිකම ; නිදහස ; නිවහල් භාවය.

ස්වාධීනතාවාදය

(පාරිභා.) නා. මතවාදවල ග්‍රහණයට අසු නොවී නිවහල් ව ඇති කරගන්නා චින්තනය ; ස්වතන්ත්‍ර වාදය.

ස්වානුකූලනය

(පාරිභා.) නා. දේශගුණයට හෝ පරිසරයට හෝ අනුකූල වීම.

ස්වානුබද්ධ

වි. තමන් හා බැඳී ඇති.

ස්වානුභූතිය

[ස්ව + අනුභූතිය]
නා. තමන් ම පෞද්ගලික ව ලබන වින්දනය ; තම අත්දැකීම.

ස්වාප

නා.ප්‍ර. නිදා ගැනීම ; නින්ද.

ස්වාපක

වි. සම්මෝහ නිද්‍රාව ඇති කරන ; නිද්‍රාජනක ; නින්ද හටගන්වන.

ස්වාභාවික

1. වි. ස්වභාවයෙන් හටගත් ; කෘත්‍රිම නොවන ; මනුෂ්‍ය සහභාගිත්වයෙන් තොරව සිදුවන.
2. සාමාන්‍ය තත්ත්වයට ගැළපෙන ; විශේෂ නොවන.

ස්වාභාවික ආලෝකය

(පාරිභා.) නා. හිරු සඳු වැනි ස්වාභාවික වස්තුවකින් ලැබෙන එළිය.