සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 330

උපහත

වි. පහර දෙන ලද; පීඩිත; නැසූ; විනාශ කළ,

උපහරණය

1. නා. සමීපයට ගෙන ඒම; වෙතට පැමිණවීම.
2. නා. නිදර්ශනය; උදාහරණය; පාඩම; උපමාව.
2. නා. ආධාරය; පිළිසරණය.

උපහස්තිකාව

නා. බුලත් කෑමට අවශ්‍ය අඩු වැඩිය බහාලන හැඹිලිය; බුලත්මල්ල.

උපහසිතය

නා. හිස සහ දෙදසරුව සලමින් සිනාසීම.

උපහාරය

නා. ගෞරව පෙරදැරි ව පිරිනමන වස්තුව; පූජාව; ගෞරවය දැක්වීම.

උපහාසය

1. නා. හාස්‍යයට ලක් කිරීම; සමච්චලය; සරදම.
2. නා. සමාජයෙහි දුර්වල තැන් සරදමට ලක් කරන කථාව හෝ නිබන්ධය; උපහාසාත්මක කථාව; උපහාස නිබන්ධය.

උපහාසාලාපය

නා. උපහාසය ගැබ් වූ කියමන හෝ කථාව; නර්මාලාප.

උපහැරණය

නා. උදාහරණය; නිදර්ශනය.

උපහිත

වි. තබන ලද; තැන්පත් කරන ලද.

උප්පකණ්ඩම්

(කථා.) නා.ප්‍ර. වියළි දඩමස්.

උප්පටිපාටිය

නා. නියමිත ක්‍රමය උල්ලංඝනය වීම; පිළිවෙළ කැඩීම; උත්පටිපාටිය; උපිළිවෙළ.

උප්පත

1. නා. ඉපදීම; බිහිවීම; හටගැනීම.
2. නා. බුලත් කොළය.

උප්පථ

නා.ප්‍ර. වැරදි මාර්ගය; නොමඟ.

උප්පරවැට්ටිය

නා. උපාය; උපක්‍රමය; උගුල.

උප්පල

1. නා.ප්‍ර. මානෙල්; උපුල්.
2. නා.ප්‍ර. සෞගන්ධි නම් සංඛ්‍යාව කෝටියෙන් ගුණ කළ විට ලැබෙන අතිවිශාල සංඛ්‍යාව.
3. නා.ප්‍ර. අවුරුදු උප්පලයක් ආයු ඇතැයි සැලකෙන නිරයක නාමය.

උප්පාදනය

1. නා. ඉපදවීම; බිහිකරවීම.
2. නා. විද්‍යුතය හෝ චුම්බකත්වය ඉපදවීම.

උප්පැන්නය

1. නා. උපත; උත්පත්තිය.
2. නා. කෙනෙකුගේ උපන්දිනය, මව්පියන්ගේ නම් ගම් ආදි තොරතුරු සඳහන් නිල ලේඛනය හෙවත් සහතිකය; උප්පැන්න සහතිකය.

උප්පිඩ

නා. එක් වරකට කපා ඔසවා ගත් ගොයම් කැටිය; ගොයම් අහුර.

උප්පු

1. නා.ප්‍ර. ලුණු.
2. (කථා.) නා.ප්‍ර. තට්ටු පැනීම හෙවත් තාච්චි පැනීම.

උපාඛ්‍යානය

නා. උපකථාව; අතුරු කථාව; වෘත්තාන්තය.

උපාඞ්ගය

නා. ශරීරයේ අප්‍රධාන අවයවය; ප්‍රධාන අවයවයක් හෝ වස්තුවක් සම්බන්ධ වූ අමතර ඌනපූරක කොටස; අමතර කොටස.

උපාදානය

1. නා. ගැනීම; දැඩිව ගැනීම; (අරමුණ) දැඩි කොට ගැනීම.
2. නා. යමක් පැවැත්මට උපකාර වන දෙය; ආසන්න කාරණය; හේතුව.
3. නා. පදාර්ථය; ධාතුව.
4. (උද්භි.) නා. සූර්ය රශ්මි හේතු කොට ගෙන, අම්ලකර පිට කර අඞ්ගාරය ශාක තුළ නවත්වා ගැනීමේ ක්‍රියාව; කාබන් සමීකරණය (=carbon assimilation).

උපාදානස්කන්ධ

නා.ප්‍ර. කාමාදි සතර උපාදානවලට අරමුණුවන්නා වූ හෙවත් ගෝචර වන්නා වූ රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ යන ධර්ම පස.

උපාදිශේෂ නිර්වාණධාතුව

නා. පඤ්චස්කන්ධය ඉතිරි ව තිබිය දී අවබෝධ කර ගන්නා නිර්වාණය.