සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 375

ඔත්නැමි

(පාරිභා.) නා.ප්‍ර. භූ චලනයෙන් පාෂාණ තට්ටුවල ඇති වන ඉතා තියුණු නැමි (=recumbent fold).

ඔත්පතින්

ක්‍රි.වි. සම්පූර්ණයෙන්; මුළුමනින්; සහමුලින්.

ඔත්පළ

නා.ප්‍ර. වැදහොත් තැන; ශයනය කළ ස්ථානය.
වි. රෝගි වූ; ගිලන් භාවයට පැමිණි; ලෙඩ වුණු.

ඔතෑනි

1. වි. අලස; කම්මැළි; උදාසීන.
2. වි. දුර්වල; බෙලහීන.
3. වි. පැහැදිලි; ප්‍රකට.

ඔතු

1. නා.ප්‍ර. අස්වැන්නෙන් රජුට හෝ ඉඩම් හිමියාට හෝ කොටසක් පැවරිය යුතු වන බදු විශේෂයක්.
2. නා.ප්‍ර. එසේ පැවරෙන කොටස.

ඔතු පරවේණිය

නා. පරම්පරාගත උරුමයට අයිති විය හැකි ක්‍රමය යටතේ ඔතු බදු ගෙවමින් වගා කරනු ලබන කුඹුරු.

ඔද

1. නා.ප්‍ර. බලය; සවිය; ශක්තිය; වීර්යය.
2. නා.ප්‍ර. ආඩම්බරය; එඩිය; දර්පය.
3. නා.ප්‍ර. ආනන්දය; උද්දාමය; සන්තෝෂය; වැඩුණුබව.
4. නා.ප්‍ර. ශුක්‍රධාතු.
5. නා.ප්‍ර. සාරය; ඕජස.
1. වි. සාරවත්; ඕජස් සහිත.
2. වි. සතුටින් ඉපිල; උදම් වුණු.

ඔද බිඳිනවා

ක්‍රි. ආඩම්බරය නැති කරනවා; දර්පය සුන් කරනවා; මට්ටු කරනවා.

ඔද වඩනවා

1. ක්‍රි. ප්‍රීතියට හෙවත් උද්දාමයට පත් කරනවා; පිනවනවා; ප්‍රමෝදයට පත් කරනවා.
2. ක්‍රි. අනුබල දෙනවා; ශක්තිය ඇති කරනවා.

ඔද්දල්

1. වි. පාරන ලද; පොඩි වුණු; තැළුණු; මොළොක් වුණු; උද්දනු ලැබූ.
2. වි. නරක් වුණු; කුණු වුණු.

ඔදොංගුව

1. (කථා.) නා. පිළිවෙළ; පිළිවෙළකට ඇති බව; හැඩහුරුකම; ශෝභනත්වය.
2. නා. ඇදය (ඔයේ නියරේ) ඇද වංගුව; (වෙල්යායේ) නෙරාගිය ස්ථානය.

ඔන්චිල්ලා

නා.ප්‍ර. ඔංචිල්ලාව.

ඔන්ඩුව

නා. එක; එක ලකුණ; විශේෂයෙන් පංච කෙළියේ දී ගිණුමට එකතු වන එක.

ඔප

ක්‍රි.වි. කාන්තිය; බැබළීම; දීප්තිය; දිස්නය.

ඔප කරනවා

ක්‍රි. දීප්තිමත් කරනවා; දිලිසෙන්නට සලස්සනවා.

ඔප දමනවා

ක්‍රි. මැදීමෙන් දීප්තිමත් කරනවා; දිලිසෙන්ට සලස්වනවා.

ඔපකරය

(පාරිභා.) නා. ඔපය ගෙන දෙන ද්‍රව්‍යය; පොලිෂ් (=polish).

ඔපගල

(කථා.) නා. ඔප දැමීම පිණිස රන්කරුවන් පාවිච්චියට ගන්නා ගල.

ඔපනැල්ල

නා. ඇඳුමක රැල්ල; අලංකාරයත් අවශ්‍ය වූ විට ඇඳුම දික් කර ගැනීමත් සඳහා තිරස් අතට මසනු ලබන රැල්ල.

ඔපමට්ටම

නා. දීප්තිමත් බව; කාන්තිමත් බවින් ද මනා නිමාවෙන් ද යුක්ත බව.

ඔපමණ

නා. ඔය තරම; දැක්වූ ප්‍රමාණය.

ඔපරා කන්නාඩිය

(පාරිභා.) නා. සංගීත, නාට්‍ය ආදි සංදර්ශන නැරඹීමේ දී භාවිත කළ හැකි කුඩා දූරදර්ශකය (=opera-glass).

ඔපරෝදය

නා. ලෝහ භාණ්ඩවල ඔප දැමීම සඳහා ලියන පට්ටල්වල සවි කොට ඇති උපකරණයක්.

ඔපලෑල්ල

(පාරිභා.) නා. ඉස්තිරික්කයෙන් රෙදි මැදීමට භාවිත කෙරෙන පුවරුව (=gloss- ing board).