සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 401

කණ්ඩිය

1. නා. වේල්ල; බැම්ම; ඉවුර.
2. නා. (පස්) කන්ද; (වැලි) ගොඩ; කඳු ගැටය; ගොඩැල්ල.
3. නා. (ගෙයි ඉස්තෝප්පුවේ) උසට බැඳි කොටස; පිල.

කණ්ඩිලම

1. (කථා.) නා.ප්‍ර. කට්ට කැපූ දඬුකඩ; මහ වේල්ලකින් කුඩා වේලිවලට ජලය බෙදාහැරීම පිණිස යොදා ගනු ලබන කත්තු කැපූ පුවක් හෝ කිතුල් දඬුකඩ.
2. නා.ප්‍ර. බාල්කයක කෙළවර කපන කට්ටය.

කණ්ඩු

1. නා.ප්‍ර. දෙපැත්ත කැපෙන මුවාත ඇති ආයුධ විශේෂයක්.
2. නා.ප්‍ර. කැසීම.

කණ්ඩුතිය

නා. කැසීම ලක්ෂණ කොට ඇති හොරි, දද ආදිය.

කණ්ඩූයනය

නා. කැසීම; ඇතිල්ලීම; ඉලීම.

කණ්ණජප්පන

නා.ප්‍ර. කනට කොඳුරා කීම.

කණ්හ

නා.ප්‍ර. දෙවිකෙනෙකුගේ නාමය; කෘෂ්ණ; විෂ්ණු.

කණා

නා.ප්‍ර. එක් ඇසක් නොපෙනෙන තැනැත්තා; පොට්ටයා; ඇස් දෙක ම නොපෙනෙන තැනැත්තා; අන්ධයා.

කණාටු

වි. කෘශ වී ගිය; පල දරන කාලය ඉක්මගිය; දිරාපත්වූ.

කණිකා ලපය

(පාරිභා.) නා. පරාග පෝෂණයේදී ඩිම්බ කෝෂයට බීජය සම්බන්ධ ව පැවතුණු ස්ථානයෙහි ඇති වන ලපය.

කණිකා සෛලය

(පාරිභා.) නා. ඇට මිදුලුවලින් නිර්මාණය වී යැයි සැලකෙන සුදු රුධිරාණුව; කණිකාමය සුදු රුධිරාණුව (=granulocyte).

කණිකාකරණය

1. (පාරිභා.) නා. කුඩා කැට බවට පරිවර්තනය වීම.
2. නා. සුව වෙමින් පවතින තුවාලයක් මතුපිට ඉතා කුඩා කැට වැනි වටකුරු මස්රොද වැඩීම (=granulation).

කණිකාග්‍රාමය

නා. ශාකපත්‍ර කොළපැහැ ගන්වන හරිතප්‍රද කැටිති සමූහය.

කණිකාමය

වි. කුඩා අංශුවලින් සෑදුණු; කුඩා කැටවලින් යුක්ත වූ.

කණිකාරූපී

(පාරිභා.) වි. කුඩා අංශුවල හැඩහුරුකම ඇති; කැටිති ආකාර.(=granulosum).

කණිකාව

1. නා.ප්‍ර. අංශුව; බින්දුව; පොද.
2. (පාරිභා.) නා.ප්‍ර. කුඩා කැටය; කැටිත්ත; රේණුව (=granule).
3. නා.ප්‍ර. මලක ඡායාංගය (=pistil).

කණිසම

1. නා. වේලාව; නියමිත වේලාව.
2. නා. පැය; හෝරාව.

කණු ඇදෙනවා

ක්‍රි. (බීජ) ප්‍රරෝහණය වෙනවා; අංකුර හටගන්නවා.

කණු ගසනවා

1. ක්‍රි. කූඤ්ඤ හෝ කණු හෝ ගසා සවි කරනවා; කූඤ්ඤ හෝ කණු සිටුවනවා.
2. ක්‍රි. සීමාව හෝ මායිම සලකුණු කරනවා.

කණු ගාස්තුව

නා. නිදැල්ලේ යන ගවයන් අයිතිකරු එනතුරු (කණුවක) බැඳ තැබීම සඳහා අය කරනු ලබන මුදල.

කණු පළ

නා. රාත්‍රී කාලයේදී ගවයන් බැඳ තබනු සඳහා කණු සිටුවා සකස් කළ ස්ථානය.

කණු මරටැල්ල

නා. වියළි දිරාගිය ගස; මැරුණු ගස් කඳ.

කණුමුල්

නා.ප්‍ර. කපා දැමූ ගසක ඉතිරි වන කඳ කොටස සහිත මුල්.

කණුව

1. නා. ටැඹ; ස්තම්භය; කුලුන.
2. නා. ගසක් කැපූ කල ඉතිරි වන මුල් කොටස.
3. නා. (ඊතලයක ඇති) නැමුණු උල.
4. (පාරිභා.) නා. අණුව; අංශුව (=corpuscle).
5. නා. පත්‍රංකුරය; දල්ල; පැළය.