සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 452

කා

1. නා. කය; සිරුර; ශරීරය.
2. නා. රැස; සමූහය.
3. නා. මහා බ්‍රහ්මයා; ප්‍රජාපතී.
4. නා. කපුටා; කාකයා.
5. නා. හිස; සිරස; උත්තමාංගය.
6. නා. අහස.
7. නා. කාවා.
8. නා. කවරෙක්; කවුරු.

කා ගන්නවා

1. (සංගී.) ක්‍රි. අනුභව කරනවා; කා දමනවා.
2. ක්‍රි. දබර කරනවා; පොර වදිනවා.
3. ක්‍රි. දරා ගන්නවා; විඳ ගන්නවා; උසුලා ගන්නවා.
4. ක්‍රි. අවුල් කර ගන්නවා.

කාංචන

නා.ප්‍ර. කාඤ්චන.

කාංස්‍ය

නා.ප්‍ර. කයිතාළම.

කාංස්‍යලෝහ

නා.ප්‍ර. කංසලෝහ; ලෝකඩ.

කාංසාව

1. නා. සැකය; සංශය
2. නා. හුදකලා භාවයෙන් හෝ බලාපොරොත්තු කඩ වීමෙන් උපන් මනස්තාපය; සාංකාව.
3. නා. දුක; කනගාටුව; ශෝකය.

කාංසිය

නා. තනිකම; සිතේ ඇතිවන පාළු ගතිය.

කාක

නා.ප්‍ර. කපුටා.

කාක දන්ත පරීක්ෂාව

නා. කවුඩන්ගේ දත් සෙවීම වැනි නිරර්ථක ගවේෂණය; නිෂ්ඵල ව්‍යායාමය.

කාක ශාස්ත්‍රය

නා. කපුටන්ගේ හැඬීම, හැසිරීම ආදිය ආශ්‍රයෙන් ඵලාඵල කීමේ ශාස්ත්‍රය; කපුටු ශාස්ත්‍රය.

කාක ස්වරය

නා. කපුටකුගේ වැනි අමිහිරි නාදය; කර්කශ නාදය.

කාකච්ඡ ශබ්දය

නා. නින්දේ දී ගොරවන හඬ.

කාකණිකය

නා. පුරාණයෙහි භාවිත වූ කුඩා රන් කාසියක්.

කාකත

නා. බ්‍රහ්මයාගේ භාර්යාව; සරස්වතී දෙව්දුව.

කාකනිල

1. නා. කළුවන් නිල් පැහැය; තදනිල.
2. නා. නිල් මැණික් වර්ගයක්; කළු පැහැයට හුරු නිල් මැණික.

කාකපක්ෂ

නා.ප්‍ර. පළමු වරට ළදරුවකුගේ හිස කෙස් කැපීමේ දී දෙකොපුල මත වැටෙන සේ ඉතිරි කරන කෙස් රොද.

කාකපාද

1. නා.ප්‍ර. කපුටාගේ පා සටහන; කපුටු අඩිය.
2. නා.ප්‍ර. ලේඛනයක අඩුතැන් පෙන්වීම සඳහා යොදන කපුටු පාදයක් බඳු ලකුණ; ^ ලක්ෂණය.

කාකපිඬු

නා.ප්‍ර. කපුටන්ට දෙන ආහාර ; පිණ්ඩය; කපුටු දානය.

කාකම්

නා.ප්‍ර. කයින් කරනු ලබන ක්‍රියා; කයින් කරන කුශලාකුශල කර්ම.

කාකමාසක

නා.ප්‍ර. පමණ ඉක්මවා ආහාරගන්නා බමුණන් කොට්ඨාසයකගේ නාමය.

කාකලි

1. නා.ප්‍ර. සියුම් මධුර නාදය.
2. නා.ප්‍ර. සියුම් මිහිරි හඬ නංවන වාද්‍ය භාණ්ඩ විශේෂයක්.

කාකවන්ධ්‍යා

නා.ප්‍ර. එක් දරුවකු ලබා ඉන් පසු නැවතත් දරුවන් නොලබන ස්ත්‍රිය; එක් දරුවකු පමණක් ලබන ස්ත්‍රිය.

කාකාක්ෂර

[කාක + අක්ෂර]
නා.බහු. ශුද්ධ සිංහල හෝඩියේ අකුරු බෙදා දක්වන යෝනි හෙවත් වර්ග අටෙන් බිලිපුටු යෝනියට අයත් අක්ෂර; ශුද්ධ සිංහල හෝඩියෙහි එ, ඩ, ය යන අක්ෂර තුන.

කාකාරි

නා.ප්‍ර. බකමූණා.