සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 453

කාකුව

නා. අන්‍ය වූ අර්ථයක් ප්‍රකාශ වන පරිදි විකෘති කළ හඬ; ශෝක, හර්ෂ, භය ආදිය හේතු කොට ගෙන වෙනස් කරන ලද හඬ.

කාකෝලී

නා.ප්‍ර. (සංගී.) සංගීතයෙහි දැක්වෙන ශබ්දදෝෂ අටෙන් එකක්; කපුටකූගේ හඬ වැනි ශබ්දයෙහි රළු බව.

කාඟුල

1. නා. කම්මුල් රැවුළ; ගණ්ඩරෝමය.
2. නා. ස්ත්‍රීන්ගේ කන ළඟ හෝ නළල මත හෝ වැටෙන සේ කපා සකස් කළ වකුටු වූ කෙස් රොද; කියඹු වැල.
3. නා. ඇතැම් රුහුණු හා සබරගමු නැටුම් සඳහා ගැනෙන හිස් වැසුම් විශේෂයක්.

කාඟුල් පෙට්ටිය

(කථා.) නා. දේවාභරණ තැන්පත් කොට තබන පෙට්ටිය.

කාච

නා.ප්‍ර. මධ්‍යකාලීන ලංකාවේ බර කිරීම සඳහා භාවිත කළ මිනුම් විශේෂයක්; කදක ගෙන ගිය හැකි බර ප්‍රමාණය.
වි. වීදුරුවලින් සාදන ලද; වීදුරුමුවා.

කාච පටලය

නා. දෘෂ්ටියට බාධා කරමින් ඇස පටලයකින් වැසී යෑමේ අක්ෂි රෝගය.

කාච ප්‍රාවරය

(පාරිභා.) නා. ඇසේ කාචය වසා සිටින වැස්ම; කාචය ආවරණය වී ඇති සිවිය (=lens capsule).

කාච රසය

(පාරිභා.) නා. අක්ෂි කාචයට පිටුපසින් වූ කුටීරයේ අඩංගු ජල්ලි වැනි ද්‍රව්‍යය (=vitreous humour).

කාචජලය

(පාරිභා.) නා. ජලයෙහි ද්‍රාව්‍ය වන මෘදු වීදුරු විශේෂයක්; සෝඩියම් සිලිකේට් (=water- glass).

කාචය

1. නා. වීදුරු; පළිඟු; ස්ඵටික; කදා.
2. නා. ලෙන්සය; ඇසේ පලඳින කන්නාඩි ආදියෙහි යොදන වීදුරු කැබැල්ල.
3. නා. අක්ෂි ගෝලයේ කණීනිකාවට යටින් පිහිටි දේහය; අක්ෂි කාචය.
4. නා. වියන ලද රෙද්දක අඟලකට තිබෙන දික් හරස් නූල් ගණන් කිරීම සඳහා පාවිච්චි කරන "අණු දක්නය” හෙවත් ගණන් කිරීමේ කන්නාඩිය.
5. නා. ගෙවල තනන වාස්තු විද්‍යාත්මක ක්‍රමයක්.

කාචර තෙල්

(පාරිභා.) නා.ප්‍ර. කුටීර අම්ලය වාෂ්පීකරණයෙන් ලැබෙන සියයට 78 ක සාන්ද්‍රණයක් ඇති සල්පියුරික් අම්ලය (=oil of vitriol).

කාච්චලේ

1. නා. උණ රෝගය.
2. නා. දිවේ බැඳෙන කාරම් ගතිය.
3. නා. මලකඩ.

කාචාශ්‍රනාලය

(පාරිභා.) නා. දෘෂ්ටික ස්නායුව පටන්ගන්නා ස්ථානයට කිට්ටු තැනක සිට කාචය දක්වා කාචමය දේහය සිදුරු කරමින් විහිදී ඇති පටු නාලය (=hyaloid canal).

කාඤ්චන

1. නා.ප්‍ර. රන්; ස්වර්ණ.
2. නා.ප්‍ර. හිරියල්.
වි. රනින් කළ; ස්වර්ණමය.

කාඤ්චි

1. නා.ප්‍ර. මෙවුල; මේඛලාව.
2. නා.ප්‍ර. ඔලිඳ.

කාඤ්ජිකය

නා. බතින් පෙරා ගත් දිය; කැඳ.

කාටනය

නා. කඩදාසිවලින් තැනූ පෙට්ටිය; කාඩ්බෝඩ් පෙට්ටිය.

කාටලය

1. නා. නිෂ්පාදන ප්‍රමාණය හා එහි මිල තීරණය කිරීම සඳහා නිෂ්පාදන ආයතන සම්මුතියකට පත් වීම.
2. නා. එබඳු ආයතන එකතුව.

කාටිලේජ කපාලය

(පාරිභා.) නා. මොළය ආරක්ෂා කිරීම සඳහා පහත් පෘෂ්ඨවංශීන්ගේත් උසස් පෘෂ්ඨවංශීන්ගේ කලලවලත් පවතින්නා වූ වැස්ම (=chondrocranium).

කාටිලේජය

(පාරිභා.) නා. දැඩි වූත් ඇදෙනසුලු වූත් පාරභාසක වූත් ළා නිල් පැහැති සම්බන්ධක පටකය (=cartilage).

කාටුව

නා. බැත රොඩු; ගොයම් පාගා පිදුරු ඉවත් කළ පසු වී සමග ඉතිරි වන බොල් පිදුරු රොඩු ආදිය.

කාටූනය

නා. සිත් ගන්නා හෝ විකට රූපි අදහසක් හැඟවීමට පුවත්පත් ආදියෙහි පළ කරනු ලබන චිත්‍රය; විකට චිත්‍රය.

කාඨින්‍යය

1. නා. තද බව; දැඩි බව; කර්කශ භාවය.
2. (පාරිභා.) නා. සිරුර දරදඬු වීම; කම්පය (=rigor).

කාඩ

(කථා.) වි. නොහික්මුණු; වනචර; අශීලාචාර; සල්ලාල.
නා.ප්‍ර. නොහික්මුණු පුද්ගලයා; අශිෂ්ටයා.