සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 457

කාමරය

නා. ගෙයක හෝ කිසියම් ගොඩනැගිල්ලක බිත්තිවලින් වෙන් වූ කොටසක්; ඇතුළු ගෙය; කුටිය; ගැබ; ඕවරකය.

කාමරෝග

නා.ප්‍ර. උපදංශ, සුද බිංදුම වැනි සමාජ රෝග.

කාමසුඛල්ලිකානු යෝගය

නා. කම් සුවයෙහි අතිශයින් ඇලී ගැලී විසීම.

කාම්‍ය

වි. කැමති විය යුතු; ආශා කළ යුතු; ප්‍රිය උපදවන.

කාමාචාරය

නා. කැමති ලෙස පැවැත්ම; අභිමතය; අභිලාෂය.

කාමාන්ධ

වි. කාමයෙන් අන්ධ වූ; කාමයෙන් මුළා වූ.

කාමාවචර

වි. (අභි.) කාමලෝකවල බහුල වශයෙන් හැසිරෙන.

කාමාශාව

නා. කම් සැප කෙරෙහි දක්වන ආශාව; කාම තෘෂ්ණාව.

කාමික

වි. කාමාශා ඇති; කාමුක හැඟීම් දනවන.

කාමිනිය

1. නා. අතිශය කාමාශා ඇති තැනැත්තිය; කාමාධික ස්ත්‍රිය.
2. නා. සිත් අලවන ස්ත්‍රිය; කාන්තාව.

කාමියා

1. නා. කම් සැප විඳීමට කැමැත්තා; කාමභෝගියා.
2. නා. (යමකට) කැමති තැනැත්තා; ලෝලයා.

කාමී

1. වි. කාමාශාවෙන් යුත්; කාමාශා සහිත; කාමුක.
2. වි. කැමති; ප්‍රිය කරන.

කාමේශ්වර

නා.ප්‍ර. අනංගයා.

කාමේෂණා

[කාම + ඒෂණා/ඒසනා]
නා.ප්‍ර. කාමය සෙවීම හෙවත් කාමරාගය.

කාමෝන්මාදය

[කාම + උන්මාදය]
නා. කාමයෙන් හටගත් උමතුව.

කාය

1. නා. සිරුර; ශරීරය; දේහය.
2. නා. සමූහය; රැස; එකතුව; ගොඩ; රැළ.

කාය ගතිය

නා. කය මෙහෙයවා කරන ගමන; පයින් යෑම.

කාය චිකිත්සාව

නා. ශාරීරික රෝග සම්බන්ධ වෛද්‍ය කර්මය.

කාය ද්වාරය

නා. (අභි.) කය නමැති දොරටුව; ස්පර්ශ අරමුණු සිතට වැද්ද ගන්නා දොරටුවක් වැනි වූ ශරීරය.

කාය ප්‍රණාමය

නා. ඇඳිලි බැඳීම් හිස පහත් කිරීම් ආදි කායික ක්‍රියා අනු ව කරන නමස්කාරය.

කාය බන්ධනය

නා. (විනය.) බුදුවරුන් හෝ භික්ෂූන් වහන්සේලා ඉණ බඳින සිවුරු පටිය; බඳපටිය; කහබහන; කාබහන.

කාය භේදය

නා. කය බිඳී යෑම; මිය යෑම; මරණය.

කාය විඥානය

නා. ශරීරය හා සම්බන්ධ ස්පර්ශය දැන ගන්නා සිත; කය පිළිබඳ විඤ්ඤාණය.

කාය විවේකය

1. නා. පිරිස කෙරෙන් ඈත් වීම.
2. නා. ශරීරය කාමයෙන් වෙන් වීම නිසා ඇති වන ඒකීය භාවය.