සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 615

ගෝරෝචන

නා.ප්‍ර. ගවයන්ගේ (මස්තකයෙහි පිහිටි) වියළි පිත; ගෝපිත්තය; ගෝරද.

ගෝලකය

(පාරිභා.) නා. බොහෝ දුරට ගෝලාකාර නමුත් පරිසමාප්ත ගෝලයක් නොවන වස්තුව (=spheroid).

ගෝලමානය

(පාරිභා.) නා. ගෝලාකාර වස්තු මැනගන්නා උපකරණය (=spherometer).

ගෝලය

1. (පාරිභා.) නා. පෘෂ්ඨයේ සෑම ලක්ෂ්‍යයක් ම කේන්ද්‍රයෙන් සමදුර වූ ඝන වස්තුව; සම වටකුරු ගුළිය (=sphere).
2. නා. ගෝලාකාර වස්තුව; වටකුරු වස්තුව (=globe).
3. නා. ඇසේ කළු ඉංගිරියාව; ඇසිකිණිය.
4. නා. බර ප්‍රමාණයක්; තුලාව; පලම් සියය.

ගෝලයා

නා. ගුරුවරයකු සමීපයෙහි ඉගෙනීම කරන්නා; ශිෂ්‍යයා.

ගෝලාකාර

වි. ගෝලයක හැඩය ඇති; බෝලයක් වැනි; වටකුරු.

ගෝලාභය

(පාරිභා.) නා. ගෝලයක් නොවන එහෙත් ගෝලයකට ඉතා ආසන්න රූපය (=spheroid).

ගෝලාර්ධය

නා. ගෝලයකින් දෙකෙන් පංගුව; අර්ධ ගෝලය.

ගෝලිකාව

(පාරිභා.) නා. කුඩා ගෝලය; ගෝලාකාර අංශුව (=globule).

ගෝලීය අපේරණය

(පාරිභා.) නා. ගෝලීය පෘෂ්ඨයක් සහිත දර්පණයකින් හෝ කාචයකින් සෑදෙන ප්‍රතිබිම්බයෙහි දක්නට ලැබෙන දෝෂය (=spherical aberration).

ගෝලීය ආධික්‍යය

(පාරිභා.) නා. ගෝලීය ත්‍රිකෝණයක කෝණ තුනේ ඓක්‍යයේ 180° ට වැඩියෙන් ඇති ප්‍රමාණය.

ගෝලීය කාචය

(පාරිභා.) නා. ගෝලාකාර පෘෂ්ඨයක් සහිත කාචය (=spherical lens).

ගෝලීය කෝණය

(පාරිභා.) නා. ගෝලයක මහා වෘත්තවල ඡේදන චාප දෙකක් අතර කෝණය.

ගෝලීය පෘෂ්ඨය

නා. ගෝලයක මතුපිට තලය; ගෝල පිටිතලය.

ගෝලීයකරණය

නා. විශ්ව ව්‍යාප්තිකරණය ලොව පුරා පැතිරවීම.

ගෝලු

නා.ප්‍ර. ඝෝෂාව; ගෙරවීම; ගර්ජනය.

ගෝලෝමිකය

නා. නිකටෙහි පමණක් දිගට ඉතිරි කොට ඇති රැවුල; එළු රැවුල.

ගෝව්‍රත

නා.ප්‍ර. ගවයකු මෙන් ඉරියවු පැවැත්වීමෙන් රකින ශීලය; ඇතැම් තවුසන් ගවයකු මෙන් සිටීම, නිදීම ආදිය කෙරෙමින් දරන චර්යාව.

ගෝවින්ද

1. නා.ප්‍ර. ශ්‍රී කෘෂ්ණ, විෂ්ණු දෙවි.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. සුවන නැකත.

ගෝවිසාණ

නා.ප්‍ර. ගවයාගේ අඟ; හරක් අඟ.

ගෝවීථිය

නා. (ජ්‍යෝති.) මීන, මේෂ, තුලා, කන්‍යා යන රාශි හතර ඇතුළත් වන නභෝ ගර්භය.

ගෝෂ්ඨිය

නා. සාකච්ඡා සභාව; සංසදය; සංභාෂණය.

ගෝෂ්පදය

නා. ගවකුරයෙන් හෑරී දිය පිරුණු කුඩා වළ.

ගෝස්

1. නා.ප්‍ර. විශේෂයෙන් ලිනන්, කපු ආදියෙන් කළ විනිවිද පෙනෙන සිහින් රෙදි වර්ගය.
2. නා.ප්‍ර. සිහින් කම්බිවලින් කළ දැල් විශේෂය.