සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 876

දෛවය

1. නා. පුද්ගලයකුගේ ජීවිත සිදුවීම් දෙවියන් විසින් කල්තබා තීරණය කොට ඇතැයි කරන උපකල්පනය; ඉරණම; නියතිය.
2. නා. භාග්‍යය; වාසනවා.

දෛවයෝගය

නා. නොසිතූ අයුරින් පුද්ගලයකුගේ ජීවිතයේ සිදුවන සිදුවීම්; ඉරණමේ ක්‍රියාකාරිත්වය; දෛවයේ හේතුවෙන් ජීවිතයේ සිදුවෙතැයි සිතන දේ.

දොක්කම්

1. නා.ප්‍ර. පෙරළා දැමීම; තල්ලු කිරීම; ප්‍රපාතයකට හෙළීම.
2. නා.ප්‍ර. වනසා දැමීම; විනාශයට පත් කිරීම.
3. (කථා.) නා.ප්‍ර. කර පින්නා ගැනීම; උරහිස මත තබා ගැනීම.

දොට්ට යනවා

1. (කථා.) ක්‍රි. එළියට යනවා; බැහැරට යනවා.
2. ක්‍රි. ශරීර කෘත්‍යයන්හි යෙදෙනවා.

දොඩමලු

වි. නිතර කතා කරන; කතාව බහුල ව ඇති; මුඛරි; වාචාල.

දොම්නස

නා.ප්‍ර. අසතුට; කනගාටුව; කනස්සල්ල.

දොඹකරය

1. නා. කරකැවීමෙන් බර එසවීම හා බෑම කළ හැකි යන්ත්‍රය; විශාල බරක් එසවීමට භාවිතා කරන යන්ත්‍රය.
2. (කථා.) නා. ගවයන්ගේ කරපටෙහි එල්ලන බොලොක්කය.

දොර

1. නා.ප්‍ර. ගෙයකට හෝ ගොඩනැගිල්ලකට ඇතුළුවන විවරය; දොරකඩ; ද්වාරය; ප්‍රවේශය; නුවරක් වටා ඇති පවුරක මුවදොර.
2. නා.ප්‍ර. දොරටුව වසන ලෑල්ල; ඇතුළුවීම වළක්වන ආවරණය; කඩුල්ල.
3. නා.ප්‍ර. ගෙදර; නිවස; වාසස්ථානය.
4. නා.ප්‍ර. මිදුල; ගෙදර ඉදිරිපස හෝ පිටුපස වත්ත.
5. නා.ප්‍ර. සඳැල්ල; සඳලුතලය.
6. නා.ප්‍ර. ආසන්න තැන; සමීපය.
7. නා.ප්‍ර. වීදිය; මාර්ගය; පාර.
8. (අභි.) නා.ප්‍ර. රූපාදි අරමුණු ඇතුළුවන මාර්ගය; අරමුණු පිවිසෙන මඟ; තුන්තිස්පෑ හෝ සති.

දොරකඩ අස්න

නා.ප්‍ර. පිරිත් පිංකමකදී පිරිත් මණ්ඩපයේ දොරටුවේ සිට කියන සංදේශය; සති පිරිත් දේශනාවෙහි අවසන් දින උදයේ විහාර අස්නයෙන් මංගල-ආටානාටිය සූත්‍ර අසනු පිණිස පැමිණෙන ලෙස මහා සංඝරත්නය විසින් දෙවියන්ට අණ කළ පසු තල්පතක ලියු ඒ සංඝානත්තිය රැගත් දේවදූතයා සතරවරම් දෙවියන් ඇතුළු සියලු දෙවියන් පිරිත් ඇසීමට සූදානමින් සිටින බව කියන ප්‍රකාශනය.

දොරටුපාලයා

නා. නුවරක හෝ මාළිගාවක දොරටුවෙන් අනවසරයෙන් ඇතුලුවීමට එන පුද්ගලයන් හෝ පරසතුරු ආදින් වැළැක්වීමෙහි නියුක්ත සේවකයා; ද්වාරිකයා.

දොරදන් දෙනවා

1. ක්‍රි. නිවසේ හෝ ඵ් අබියස ම දන් දෙනවා; ලබන්නා ගෙදරට ම කැඳවා දානය පිරිනමනවා.
2. ක්‍රි. තමන් සතු සියලුම දේ අන්‍යයනට පිරිනමනවා; තමන්ට නැති වුනත් තිබෙන සියල්ල දන් දෙනවා.

දොරුව

1. නා. දළ බෑවුමක් සහිත පටු නිම්නය; උස් වූ බිම් දෙකක් අතර පිහිටි රළු ගල් සහිත ප්‍රදේශය.
2. නා. ගල් දෙබොක්කාව; කඳු දෙකක් අතර පිහිටි පටු මාර්ගය.
3. නා. දිය යට ගල්පරවල ඇති කුහරය.
4. (කථා.) නා. මැටි බඳුන් පුලුස්සන පෝරණුවේ ඉදිරිපස.
5. නා. දොර; දොරටුව.

දොවනවා

1. ක්‍රි. සෝදනවා; පිරිසිදු කරනවා.
2. ක්‍රි. (විශේෂයෙන් එළදෙනගේ) තනපුඩුවෙන් කිරි ඇදගන්නවා; කිරි දොවනවා.

දොස්

1. නා.ප්‍ර. වරද; වරැද්ද; අන්තරාය; දෝෂ.
2. නා.ප්‍ර. වා පිත් සෙම් කිපීම් නිසා ශරීරයේ ඇතිවන රෝගී තත්ත්වය.

දොහෝ

නා. සංශය, විස්මය ආදි අර්ථයන්හි යෙදෙන නිපාතයක්.

දොළ

1. නා.ප්‍ර. හිතේ හට ගන්නා දැඩි ආශාව; අභිරුචිය.
2. නා.ප්‍ර. ගර්භණී කාන්තාවන්ට ඇති වන විශේෂ ආශාව.
3. නා.ප්‍ර. යක්ෂ ප්‍රේතාදින් සඳහා දීමට ගන්නා ආහාරපාන සහිත පිදේනිය; දොළ පිදේනි තටුව.
4. නා.ප්‍ර. ගලා බස්නා දිය පාර; දිය කඳුර
5. නා.ප්‍ර. රමණීය වන ප්‍රදේශය.

දොළ දුක

නා. ගැබිණියකට ඇති වන විශේෂ ආශාව; එය සන්සිඳෙන තෙක් පවතින දුක.

දොළදෙනවා

1. ක්‍රි. ප්‍රේතාදීනට ආහාර පානාදිය යක්ෂ පුදනවා; නැටුම් ආදිය පවත්වා පිදේනි බාර දෙනවා.
2. ක්‍රි. (රූඪි.) අල්ලස් දෙනවා.

දොළපිදවිලි

1. නා.ප්‍ර. යක්ෂ ප්‍රේතාදින්ට දෙන ආහාර පානාදියෙන් යුත් තටුව; දොළ පුද මැස්ස.
2. (රූඪි.) නා.ප්‍ර. අල්ලස් වශයෙන් දෙන දෙය.

දොළස

නා. දහයට දෙකකින් වැඩි ගණන; ද්වාදශය.

දොළො

නා.ප්‍ර. දුක; ආශාව නිසා හටගන්නා දැඩි දුක.

දොළොස්වක

නා. පුරපක්ෂයේ හෝ අවපක්ෂයේ දොළොස් වැනි තිථිය.

දෝ

1. නා.ප්‍ර. රශ්මිය; ආලෝකය.
2. නා.ප්‍ර. දෙක; යුගල.
3. නා.ප්‍ර. තාරකාව.
වි. සෝදන ලද; සේදූ.

දෝංකාරය

නා.ප්‍ර. ශබ්ද පරාවර්තනයෙන් හටගන්නා රාවය; ප්‍රතිරාවය; ප්‍රතිධ්වනිය.