සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 888

නගරාධිපති

නා.ප්‍ර. නගරවාසීන්ගේ ඡන්දයෙන් තේරී පත්වී නගරය පාලනය කරන සභාවේ සභාපති; නගරසභාවේ ප්‍රධානයා.

නගරාරක්ෂකයා

නා. නුවර රැකවල් කිරීමේ යෙදී සිටින්නා; නගරය රැකබලා ගන්නා නිලධාරියා.

නග්න

1. වි. විළි නොවසන; නිරුවත්; නිර්වස්ත්‍ර.
2. වි. ගහකොළ කිසිවක් නැති; මුඩු.
3. (පාරිභා.) වි. ඇවිරීමක් නැති; අනාරක්ෂිත; පරිවරණයෙන් තොර.

නග්නීකරණය

1. (පාරිභා.) නා. ස්වාභාවික හේතු නිසා හෝ කෘත්‍රිම උපක්‍රමවලින් හෝ පෙදෙසක් ගස්වැල්වලින් තොර මුඩුබිමක් බවට පත්වීම.
2. නා. පාෂාණවල රසායනික හා යාන්ත්‍රික ඛණ්ඩනය; පෘථිවි පෘෂ්ඨය ගෙවී යෑම.

නඞ්ගලාස්ථිය

(පාරිභා.) නා. නාස් කුහර දෙක එකිනෙකින් වෙන් කරන නඟුලක හැඩය ගත් මෘදු ඇටය. (=vomer).

නඟිනවා

1. ක්‍රි. කිසිවක් මතට ගොඩවෙනවා; ආරෝහණය වෙනවා.
2. ක්‍රි. උඩට එනවා; උදාවෙනවා; මතුවෙනවා.
3. (කථා.) ක්‍රි. උසස් දියුණුවට පත් වෙනවා.
4. (රූඪි.) ක්‍රි. කෝපයට පත් වෙනවා; කේන්ති යනවා; තරහ යනවා.
5. ක්‍රි. වැඩෙනවා.

නඟුට

නා. වලිගය; වාලධිය.

නඟුල

1. නා. සී සෑම සඳහා භාවිත කරන උපකරණයක්.
2. නා. වලග; වාලධිය.

නඟුල් තරුව

නා. නගුලක හැඩය ගන්නා තරුපෙළ; මහවලස් තරුව; සප්තර්ෂි තාරුකා පංතිය.

නච්ච

නා.ප්‍ර. නැටුම; නෘත්‍යය.

නටනවා

1. ක්‍රි. නර්තනය කරනවා; රඟපානවා.
2. ක්‍රි. ද්‍රවයක් තාපාංශකයට රත් වෙනවා; කැකෑරෙනවා; පැසෙනවා.
3. ක්‍රි. සෙලවෙනවා; චලිත වෙනවා.

නටබුන්

නා.ප්‍ර. යමක් විනාශයකට පත්වීමෙන් පසු ඉතිරි වී ඇති එහි කොටස්; කැඩී බිඳී විනාශ වී ඉතිරි ව ඇති කොටස්; නෂ්ටාවශේෂ.

නටරාජා

නා. නැටුමට අධිපති දෙවියා වන ශිවදෙවි; ඊශ්වර.

නටු

1. වි. කෙට්ටු; සිහින්; කෘශ.
2. වි. නාස්ති වූ; විනාශ වූ; නෂ්ට වූ.

නටුව

නා. ශාකයක කොළ, මල් ගෙඩි ආදිය අත්තට හෝ කඳකට සම්බන්ධ කරන සිහින් දිගැටි අවයවය; තුවටුව; වෘන්තය.

නඩංගු වෙනවා

ක්‍රි. (කිසියම් කාර්යයක් සඳහා ) බෙහෙවින් වෙහෙස වෙනවා; හිරිහැර වෙනවා; කරදර වෙනවා.

නඩත්තුව

1. නා. අවශ්‍යතා සපුරමින් පෝපෝෂණය කිරීම; ජීවිකාව සැලැස්වීම; රැකීම; පරිපෝෂණය
2. නා. යම්කිසි දෙයක් මැනවින් පවත්වා ගැනීම; නිසි ලෙස පවත්වා ගැනීම; ආරක්ෂා කරමින් රැකගැනීම.

නඩය

1. නා. (වන්දනා, ගමන් ආදිය යාමේ දී) එකට එකතු වන පිරිස, කණ්ඩායම.
2. නා. ආලින්දය; පිළ; වටපිළ.

නඩලම

නා. කෝලම; විකාරය; විහිළුව; විගඩම.

නඩාව

නා. රෙදි විවීමේ දී දික් නූල් අතරෙන් හරස් නූල් යැවීම සඳහා යොදා ගන්නා උපකරණය; සටලය.

නඩු තීන්දුව

නා. නඩු විභාගයක අවසානයෙහි අධිකරණය විසින් දෙනු ලබන තීරණය; නඩුවේ විසඳුම (=judgement).

නඩු විභාගය

නා. අධිකරණයට ඉදිරිපත් වූ කරුණ පිළිබඳ ව තීරණයක් ගැනීම සඳහා පැමිණිලිකාර සහ විත්තිකාර දෙපක්ෂයෙන් කරුණු විමසීමේ ක්‍රියාවලිය.

නඩුකාරයා

නා. නඩු ඇසීම සඳහා නිත්‍යනුකූල ව පත්වීමක් ලැබ සිටින පුද්ගලයා; අධිකරණ නායකයා; විනිසකරු; විනිසුරු.

නඩුව

1. නා. විනිශ්චය සඳහා අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ල.
2. නා. චෝදනාවක් පිළිබඳ ව අධිකරණය විසින් පවත්වනු ලබන විභාගය; නඩු විභාගය.
3. නා. යුක්තිය; සාධාරණත්වය; ධර්මය.
4. නා. පැමිණිල්ල; දුක්ගැනවිල්ල.