සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 894

නවකවදය

නා. ඇතැම් උසස් අධ්‍යාපන ආයතනයකට අලුතින් ඇතුළුවූවනට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කරනු ලබන නීති විරෝධී බලපෑම්; හිංසාකාරී ක්‍රියා.

නවග්‍රහ බලිය

නා. නවග්‍රහයන්ගෙන් වන අපල දුරු කිරීම සඳහා පවත්වනු ලබන බලියාගය.

නවගුණ

නා.ප්‍ර. බුදුන්වන්සේගේ ගුණ නවය; නව අරහාදි බුදුගුණ.

නවගුණ වැල

නා. නවගුණ පාඨය කියමින් භාවනා කිරීමේදී වාර ගණන දැනගැනීමට යොදා ගනු ලබන ඇට 108 කින් යුත් මාලය; අක්ෂ මාලාව.

නවජයා

නා. අලුතින් උපත ලැබූ තැනැත්තා; නව බිලිඳා.

නවජීවනය

නා. ජීවිතය සඳහා අලුතින් ලැබෙන ප්‍රබෝධය; අලුතින් ඇතිවන පිබිදීම.

නවත

නා.ප්‍ර. දිය පාරකින් කුඹුරට වතුර ගන්නා වක්කඩ.

නවතම

වි. ඉතාම අලුත්; වඩාත්ම අලුත්.

නවතිනවා

1. ක්‍රි. (පවත්වාගෙන යන හෝ සිදුකරන යමක්) නතර කරනවා; අවසාන කරනවා; ඇණ හිටිනවා.
2. ක්‍රි. යම් ස්ථානයක නතර වෙනවා; සිටිනවා.

නවදැල්ල

නා. අලුත ගිනි තබා පුලුස්සන ලද හේන; නව දැලි හේන.

නවදොර

නා. ශරීරයේ අපවිත්‍ර දෑ පිට කිරීම සඳහා ශරීරයේ ඇති දොරටු නවය; දෙකන්, දෙනෙත්, නහස් සිදුරු, මුඛය, මල මාර්ගය සහ මූත්‍ර මාර්ගය යන නව දොරටුව.

නවනින්දාව

නා. බරපතළ අවනම්බුව; තදබල අගෞරවය.

නවනීත

1. නා. එළකිරෙහි යොදයෙන් සාදා ගනු ලබන ආහාර විශේෂයක්; වෙඬරු; බටර්.
2. නා. වෙඬරු මෙන් සියුම් මැටි වර්ගයක්; වෙඬරු මැටි.

නවපන්නය

නා. අලුත් පිළිවෙළ; අභිනව ක්‍රමය; නවීන මෝස්තරය; අලුත් විලාසිතාව.

නවම්

නා.ප්‍ර. බක්මසින් ඇරඹෙන සිංහල චන්ද්‍ර මාස ක්‍රමය අනු ව එකොළොස් වැනි මාසය.

නවයුවති

නා.ප්‍ර. අලුත තරුණ දිවියට දිවියට පැමිණි කාන්තාව; නව යෞවනිය.

නවයොවුන්

වි. මුල් තරුණ වයසෙහි සිටින; අභිනව තාරුණ්‍යයෙහි සිටින්නා වූ.

නවයෞවනය

නා. භද්‍ර යෞවනය.

නවරත්න

නා.ප්‍ර. රුවන් ජාති හෙවත් මැණික් වර්ග නවය, නව රුවන්; රතුකැට, මුතු, පද්මරාග, පච්ච, පුෂ්පරාග, සුදුනිල්, නිල්කැට, ගෝමේද, වෛරෝඩි.

නවරන්

[නව + රන්]
නා.ප්‍ර. වර්ෂා කාලයෙන් පසු දලු ලා අලුත් බවට පත් වනාන්තර; අභිනව කැලෑ.

නවසදල

නා.ප්‍ර. අලුත ලියලා ගෙන එන තණ කොළ; ළපටි තණ කොළ.

නවසඳ

නා. අමාවකින් පසු දක්නට ලැබෙන චන්ද්‍රකලාව; අලුත් හඳ.

නවස්තන්‍යය

(පාරිභා.) නා. දරු ප්‍රසූතියෙන් පසු සූතිකාවට ප්‍රථමයෙන් ම එරෙන කිර; අලුත් කිර.

නවහම්

1. නා.ප්‍ර. නවම් මාසය.
2. නා.ප්‍ර. අලංකරණය; සැරසීම.