සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 895

නව්‍ය

වි. අලුතින් ඇති වුණු; අලුත්; නව; නවීන.

නවාංශකය

නා. (ජ්‍යෝති.) රාශියක් නවයට බෙදු කොටස; රාශියේ අංශක 3 1/2 ක ප්‍රමාණය.

නවාගත

[නව + ආගත]
වි. අලුතින් පැමිණි; ළඟදී ආ.

නවාතැන

නා. වාසස්ථානය; රැඳී සිටින තැන; පදිංචි නිවස.

නවීකරණය

නා. පැරණි දෙයක් අලුත් කිරීම; අලුත් ක්‍රමයට සකස් කිරීම; නවීන කාලයට හැඩ ගැස්වීම.

නවීන

1. වි. අලුත්; අභිනව; නූතන; නව; අදට ගැළපෙන.
2. වි. පළපුරුද්දෙන් අඩු; ආධුනික; නවක.

නවෝදය

නා. නව ප්‍රබෝධය; අලුත් පිබිදීම; නව ජීවනය.

නවෝද්භවය

(පාරිභා.) නා. පරිසරයේ බලපෑම අනු ව නව සත්ත්ව ශාක වර්ගයක් පහළ වීම.

නෂ්ට

1. වි. පෙර තිබී දැනට නොමැති; විනාශ වූ; වැනසුණු; අභාවයට ගිය.
2. වි. ව්‍යර්ථ වූ; කඩ වූ; ඉටු නොවූ; භඞ්ග වූ.

නෂ්ට කාමය

නා. පුරුෂ ශක්තිය හීන වී යාම; ධ්වජ භංගය; ලිංගික බෙලහීනතාව.

නෂ්ටාවශේෂ

නා. විනාශ වීමෙන් පසු ඉතිරි වූ දේ; කැඩී බිඳී යාමෙන් පසු අවශේෂව තිබෙන දෙය.

නසනවා

1. ක්‍රි. විනාශ කරනවා; වනසනවා; නැති කරනවා.
2. ක්‍රි. දිවිතොර කරනවා; ප්‍රාණයට හානි කරනවා.
3. ක්‍රි. සැඟවෙනවා; නොපෙනීයනවා.
4. ක්‍රි. දිරනවා.

නස්නය

1. නා. නාසය මගින් හිස තුළට බෙහෙත් තෙල් ආදිය ඇතුළු කරවීම.
2. නා. නාසයට උරන හෝ වත් කරන බෙහෙත.

නස්පැත්තිය

නා. විපත; විපත්තිය; විනාශය; අන්තරාය; අනතුර.

නස්‍ය

වි. නාසය හා සම්බන්ධ; නාසයට හිතකර; නාසයට උපයෝගී වන.

නසිනවා

1. ක්‍රි. මැරෙනවා; ජීවිතක්ෂයට පත් වෙනවා.
2. ක්‍රි. නටනවා; රඟනවා.

නහ

1. නා.ප්‍ර. බල්ලා; සුනඛයා; කුක්කුරයා.
2. නා.ප්‍ර. නාසය; නැහැය.
3. නා.ප්‍ර. නාගස.
4. නා.ප්‍ර. ස්නානය.
5. නා.ප්‍ර. නැසීම.

නහ ලණුව

නා. ගවයකුගේ නහය විද දමන ලණුව; නැහැපට; නාස් ලණුව.

නහනවා

1. ක්‍රි. මරනවා; දිවි තොර කරනවා; විනාශ කරනවා.
2. ක්‍රි. බරපතල විපතක් කරනවා.
3. ක්‍රි. නහනවා; නානවා; ස්නානය කරනවා.

නහමනවා

ක්‍රි. දකිනවා; බලනවා; නරඹනවා.

නහඹ

වි. අලුතින් පීදුණු; පළමුවෙන් හටගත්; නොඉඳුල්; නොමේරූ.

නහය

නා. ගඳ-සුවඳ දැනීමේ ඉන්ද්‍රියය; ඝ්‍රාණේන්ද්‍රියය.

නහර

1. නා. ලේ ගමන සඳහා සත්ත්ව ශරීරය පුරා විහිදී ඇති රුධිරවාහිනී.
2. නා. මොළයට සංවේදනය ගෙන යන නාල; ස්නායු.

නහස්නා පහණ

නා. රන්, රිදීවල අගය මැන බැලීමට යොදා ගනු ලබන උපකරණය; උරගල; නිකෂ පාෂාණය.