සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 990

පදිංචිය

1. නා. වාසය කිරීම ; විසීම ; වාසය.
2. වාසය කරන තැන ; නිවසන ස්ථානය.

පදික

1. නා.ප්‍ර. චතුරංගිනී සේනාවේ එක් අංගයක් වන පාබළ හමුදාව.
2. මාර්ගයක පයින් යන්නා.

පදික වේදිකාව

නා. පයින් ගමන් කිරීම සඳහා මහපාර දෙපස තනා ඇති උස් පිළ.

පදිකය

නා. බයිසිකල් ආදියෙහි පයින් පාගන කොටස ; පැඩලය.

පදිනවා

ක්‍රි. ඔරු, පාරු, ඖචිල්ලා ආදිය ක්‍රියා කිරීමට සලස්වනවා ; බයිසිකල් ආදියෙහි නැඟී යනවා.

පදිමය

නා. නූතන වාග් විද්‍යාවට අනුව භාෂා විග්‍රහයේ දී ලැබෙන අර්ථවත් අවම ඒකකය ; පදයක් සෑදී ඇති ප්‍රකෘතිය හා ප්‍රත්‍යය.

පදිය

නා. කඩ වීදිය ; වෙළෙඳ වීථිය ; වෙළෙඳපොළ ; වෙළෙඳ නගරය.

පදියම

නා. පදිංචිය ; වාසය ; තැන්පත් වීම.

පදුම

1. නා.ප්‍ර. නෙළුම් මල ; පියුම ; පද්මය.
2. එකයි බින්දු 119කින් යුත් ඉතා විශාල ගණන.
3. නිරයක්.
4. අටවිසි බුදුන් අතුරින් එක් බුදුවරයකුගේ නාමය.

පදුරු

නා.ප්‍ර. නැවේ රුවල් රෙද්ද හෝ රුවල.

පදෝපකූර්චය

(පාරිභා.) නා. පයේ ඇඟිලිවලටත් පාද කූර්චයටත් අතර කොටස.

පධන්

නා.ප්‍ර. කෙලෙස් තැවීම පිණිස ගන්නා තීරණය ; කෙලෙස් තවන උත්සාහය.

පධන්ඝර

නා.ප්‍ර. කෙලෙස් තැවීම පිණිස වීර්ය වැඩීමට ස්ථාන කරගන්නා ගෙය ; භාවනා ගෘහය ; පියන්ගල.

පධන්වීර්ය

නා.ප්‍ර. කෙලෙස් තැවීමේ භාවනාව සඳහා දරන වෑයම ; කෙලෙසුන් මැඩීමට ගන්නා උත්සාහය.

පන

1. නා. කොළය ; පර්ණය ; පතුය.
2. උපධාතු විශේෂයක් ; පල්මානික්කම්.
නි. නැවත යන අරුත්හි යෙදෙන නිපාතයක්.

පනත්තා

නා. හත් මුතු පරපුරේ සිව්වැනියා (අත්තා, මුත්තා, නත්තා, පනත්තා වශයෙනි).

පනදා

නා.ප්‍ර. ඊළඟ දිනය ; දෙවැනි දිනය ; පසු දිනය ; හෙට දවස.

පන්

1. නා.ප්‍ර. කොළය ; පත්‍රය ; පත්.
2. ලිපිය ; ලියමන ; සන්දේශ පත්‍රය.
3. මලු, පැදුරු, වට්ටි, පෙට්ටි ආදිය විවීමට ගන්නා ජලාශ්‍රිත තෘණ විශේෂය.
1. වි. කොළයෙන් නිම වූ පත්‍රයෙන් සෑදූ.
2. පහකින් යුතු ; පහක් අඩංගු ; පහෙන් ගුණ කරන ලද.

පන්කටුව

1. නා. වේළා ගැනුණු පත් මැදීම පිණිස භාවිත කරනු ලබන උපකරණය ; පන්පතුර.
2. ඉඳිකොළ බඩුවල විසිතුරු වැඩ දැමීම සඳහා භාවිත වන උපකරණයක්.

පන්තට්ටුව

නා. පන්වලින් වියා ගන්නා ලද කට පළල් නොගැඹුරු කුඩා වට්ටි විශේෂයක් ; ඇතුල්පත ; ඇතුළුපත.

පන්තිය

1. නා. සමූහය ; රංචුව ; කැල.
2. එකට ඉගෙන ගන්නා එක ම අධ්‍යාපන මට්ටමේ සිසුන් කණ්ඩායම ; වර්ගය ; ශ්‍රේණිය.
3. ඇති නැති පොදු කරුණු මුල් කොට කරනු ලබන වර්ගීකරණය ; දක්ෂතා අනුව බෙදනු ලබන ඒකකය.
4. පේළිය ; පෙළ.

පන්තේරුව

නා. වළල්ලක හැඩ ගත් සෙලවීමෙන් හඬ නංවන තූර්ය භාණ්ඩ විශේෂයක්.

පන්ද

1. නා. බෝලය ; පන්දුව ; කන්දුකය.
2. ගෙඩිය ; ඵලය.

පන්දම

1. නා. ගිනිහුල ; විලක්කුව.
2. (රූඪි.) අයුතු වාසිය සඳහා දෙන සහයෝගය ; ඒ සඳහා ලබන උදවු උපකාර.