අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 151

දිවාවිහරණය

නා. දවල් කාලයේ විවේක සුවයෙන් විසීම

දිවිමකුළුවා

නා. විසකුරු මකුළු විශේෂයක නාමය

දිවෙල

නා. දිවි පැවැත්ම/ ජීවනෝපාය

දිවෞෂධ

නා.ප්‍ර. දිව්‍යමය බලයක් ඇති බෙහෙත (සං. දිව්‍යෞෂධ)

දිශා දර්ශකය

නා. මාලිමා යන්ත්‍රය

දිශානතිය

නා. දිසාවකට යොමු කිරීම

දිශාව

නා. උතුර, දකුණ ආදි පැත්ත; දික් භාගය (සං. දිශා පා. දිසා)

දිෂ්ටිය

නා. මිනිසුන්ට ආරූඪ වන අමනුෂ්‍යාවේශය; අමනුෂ්‍ය බැල්ම (පා. දිට්ඨි සං. දෘෂ්ටි)

දිස්නය

නා. බැබළීම

දිළිඳු

වි. වත් පොහොසත්කම් නැති; අසරණ (පා. දළිද්ද සං. දරිද්‍ර)

දීඝ නිකාය

නා.ප්‍ර. සූත්‍ර පිටකයට අයත් පෙළ පොත් පසින් එකක් (පා. දීඝනිකාය)

දීඝවාපිය

නා. දිගාමඬුල්ල (පා. දීඝවාපි)

දීන

වි. නිවට; නියාලු/ කලකිරුණු (පා. සං. දීන)

දීපන

වි. බඩගින්න වඩන/ දල්වන/ පැහැදිලි කරන (සං. දීපන)

දීපවංශය

නා. ලංකාවේ පැරණි පාලි වංස කථාවක් (පා. දීපවංස)

දීපාවලී

නා.ප්‍ර. හින්දු ආගමික උත්සවයක් (සං. දීපාවලී)

දීමනාව

නා. ප්‍රදානය

දීර්ඝ

වි. කෙටි නොවන; ආයත/ දිගු කාලයක් පවත්නා (සං. දීර්ඝ)

දීර්ඝාක්ෂර

නා.ප්‍ර. දික් ව උච්චාරණය වන අකුර

දීර්ඝායුෂ

නා.ප්‍ර. දිගු කල් ජීවත්වීම (සං. දීර්ඝායු, දීර්ඝායුස්)

දුක්ඛය

නා. කායික හා මානසික පීඩන නිසා ඇති වන වේදනා සහගත හැඟීම (පා. දුක්ඛ සං. දුඃඛ)

දුක්ඛිත

වි. දුකට පැමිණි; දුගී (පා. දුක්ඛිත)

දුක්ඛිතාවස්ථාව

නා. දුකට පත් ව සිටින අවස්ථාව

දුක්ගන්නාරාල

නා. රජුගේ පෞද්ගලික සමීප නිලධාරියා/ සේවකයන්ගේ දුක්ගැනවිලි විමසා බලන නිලධාරියා