අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 157

දේශ ගවේෂණය

නා. අලුත් රටවල් හා ඒවායේ තොරතුරු සොයා ගැනීමට යෑම

දේශකයා

නා. කථා පවත්වන්නා; දේශනා කරන්නා (සං. දෙශක)

දේශගුණය

නා. අව්, වැසි, සුළං ආදිය නිසා දීර්ඝ කාලයක් තුළ ඇති වන ස්වාභාවික ගතිය

දේශනය

නා. යමක් පැහැදිලි කිරීම් වශයෙන් කරනු ලබන දීර්ඝ කථාව (සං. දෙශන)

දේශනාව

නා. කථන ස්වරූපයෙන් අන්‍යයන් වෙත කරන ප්‍රකාශය; දෙසුම; දේශනය (පා. දෙසනා සං. දෙශනා)

දේශප්‍රේමියා

නා. රටට ඇල්ම කරන්නා; දේශමාමකයා

දේශපාලනඥයා

නා. දේශපාලන කටයුතුවල නිරත වීමෙන් ඒ ගැන දැනුම ලබා ගත් පුද්ගලයා

දේශපාලනය

නා. රට පාලනය කිරීම; රට පාලනය කිරීමේ ක්‍රමය

දේශය

නා. රට; ජනපදය; ප්‍රදේශය (පා. දෙස සං. දෙශ)

දේශහිතෛෂී

වි. රට කෙරෙහි ඇල්ම ඇති; දේශයට හිතවත්

දේශාංශ

නා.ප්‍ර. මධ්‍යාහ්න රේඛාව; දේශාන්තර රේඛාව

දේශාටනය

නා. රට රටවල ඇවිදීම (සං. දෙශාටන)

දේශාන්තර

වි. රටවල් අතර පවත්නා; ජාත්‍යන්තර/ නා නා රටවලට අයත්; විදේශීය (සං. දෙශාන්තර)

දේශානුරාගය

නා. රට කෙරෙහි ඇති ඇල්ම; දේශය කෙරෙහි වූ භක්තිය

දේශාභිමානය

නා. රට පිළිබඳ ව උපන් ඇල්ම; මවුබිම කෙරෙහි ඇති ආඩම්බරය

දේශිය

වි. රටට අයත්; රටෙහි වූ (සං. දෙශීය)

දේහනික්ෂේප

වි. මරණින් පසු සිරුර තැන්පත් කරන (පා. දෙහනික්ඛෙපන)

දේහාණුව

නා. සත්ත්ව රුධිරයේ ඝන කොටසේ ඇති සෛලයක්/ සෛලයක් තුළ ඇති කුඩා අංශුව

දෛනික

වි. දිනය හා සම්බන්ධ; දිනයට අයත් (සං. දෛනික)

දෛවඥකාමධේනුව

නා. දඹදෙණි යුගයේ රචිත සංස්කෘත ජ්‍යෝතිෂ ග්‍රන්ථයක නාමය (සං. දෛවඥකාමධෙනු)

දෛවඥයා

නා. නක්ෂත්‍රය උගත් තැනැත්තා (සං. දෛවඥ)

දෛවය

නා. ඉරණම; නියතිය/භාග්‍යය; වාසනාව (සං. දෛව)

දෛවයෝගය

නා. නොසිතූ අයුරින් සිදු වන කාර්යය (සං. දෛවයොග)

දෛවෝපගත

වි. ඉරණමට අනුව එළඹුණු

දොඩමලු

වි. නිතර කථා කරන; වාචාල; මුඛරි