අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 19

අඳුන

නා. ඇසෙහි ආලේප කරන ඖෂධය/අංජනම් එළි බැලීමේ දී භාවිත කරන ආලේපය (පා. සං. අඤ්ජන)

අඳුනනවා

ක්‍රි. ඉතා හොඳින් දන්නවා (පා. සඤ්ජානාති සං. සංජානාති)

අඳුර

නා. අන්ධකාරය (පා. සං. අන්‍ධකාර)

අපකර්ෂණය

නා. ඉවතට ඇදීම; විකර්ෂණය (සං. අපකර්ෂණ)

අපකර්ෂය

නා. ඉවතට ඇදීම/ අවමානයට පැමිණීම (සං. අපකර්ෂ)

අපගමනය

නා. ඉවතට යෑම; අතුරුදන් වීම (පා. සං. අපගමන)

අපඝාතය

නා. මොළයට ලේ ගැලීම හෝ මස්තිෂ්ක ධමනියට හානි වීම හෝ නිසා සිහිසුන් වීම (සං. අපඝාත)

අපථ්‍ය

වි. අයෝග්‍ය; අගුණ (සං. අපථ්‍ය)

අපදානය

නා. ජීවිත කථාව/උදාර චරිතය (පා. සං. අපදාන)

අපනයනය

නා. රටකින් රටකට භාණ්ඩ යැවීම (පා. සං. අපනයන)

අපභ්‍රංශ

නා.ප්‍ර. පුරාණ ඉන්දියාවේ භාවිත වූ ප්‍රාකෘත භාෂාවක්/තේරුම් ගත නොහැකි ප්‍රකාශ (සං. අපභ්‍රංශ/අපභ්‍රංස)

අපමණ

වි. සීමාරහිත; අප්‍රමාණ (පා. අප්පමාණ සං. අප්‍රමාණ)

අපරාධය

නා. නීති විරෝධි ක්‍රියාව; වරද; විනාශය (පා. සං. අපරාධ)

අපරීක්ෂාකාරී

වි. විමසීමකින් තොර ව ක්‍රියා කරන

අපලය

නා. අනිෂ්ට විපාකය; ග්‍රහ දෝෂය (පා. සං. අඵල)

අපහරණය

නා. ඉවත් කිරීම; පැහැර ගැනීම (සං. අපහරණ)

අපහාසය

නා. අවමානය; නිග්‍රහය (පා. සං. අපහාස)

අප්‍රමාණ

වි. සීමා රහිත (සං. අප්‍රමාණ)

අප්‍රාණික

වි. පණ නැති; අචේතනික (සං. අප්‍රාණික)

අපායාක්ෂර

නා. අශුභ යැයි සම්මත අකුරු; අනිෂ්ටාක්ෂර (සං. අපාය + අක්‍ෂර)

අපිච්ඡදය

නා. සිරුරේ බාහිර ස්තරය සෑදී ඇති පටකය හෝ සිවිය (සං. අපිච්ඡද)

අපිජිහ්විකාව

නා. දිව මුලත් ස්වරාලයත් අතර පිහිටි කාටිලේජ පියන (පා. සං. අපිජ්හ්විකා)

අපිස්

වි. ආසා නැති; අල්පේච්ඡ (පා. අපපිච්ඡ)