අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 77

කම්පනය

නා. චලනය; දෙදරීම (පා. සං. කම්පන)

කම්බිළිය

නා. ඝනකමට වියන ලද ලෝම රෙද්ද (දෙ. கம்பிளி)

කම්මැළි

වි. අලස

කඹය

1. නා. කණුව; ටැඹ (ප්‍රා. ඛංභ පා. ඛම්භ සං. ස්තම්භ) 2. ලණු කිහිපයක් එකට වෙළා සාදා ගන්නා යොත; බාන

කඹුරනවා

ක්‍රි. මෙහෙ කරනවා

කඹුරා

නා. යකඩ වැඩ කරන්නා; කම්මල්කාරයා (පා. කම්මාර සං. කර්මාර)

කයිතාළම

නා. දෑතින් ගෙන එකට එක ගසා තාලානුරූප වූ ශබ්ද නංවා ගැනීම පිණිස භාවිත කරන ලෝහමය කුඩා තැටි යුගලක් (දෙ. கைத்தாளம் මල. කයිතාලම්)

කරණ කොට ගෙන

නි. කරණ විභක්ති අර්ථය හඟවන වාක්‍ය ඛණ්ඩය/ හේතු කරගෙන

කරණ විභක්තිය

නා. කර්තෘගේ ක්‍රියාවට ඉවහල් වන පදාර්ථය යෙදෙන විභක්තිය

කරණම

නා. උඩ පැන ගුවනේ දී වටයක් කරකැවෙන පරිදි ගසන පිනුම (දෙ. கரணம்)

කරණය

නා. කිරීම; සිදු කිරීම/ කරණ විභක්ති අර්ථය; කරණ විභක්තිය/ හේතුව (පා. සං. කරණ)

කරණීය

වි. කළ යුතු; කිරීමට සුදුසු (පා. සං. කරණීය)

කරඬිය

නා. කෙණෙස්ස/ වල් පැළෑටි නෙළන උපකරණය (පා. කරණ්ඩි)

කරඬුව

නා. මංජුසාව (පා. සං. කරණ්ඩ)

කරතල

නා. අත්ල; අතුල් තලය; හස්ත තලය (පා. කරතල)

කරදිය වළල්ල

නා. දිවයිනක් වටා පිහිටි මුහුදු වෙරළ

කරනැවෑමියා

නා. දැළි රැවුල් කපන්නා; ඇම්බැට්ටයා

කරල

නා. ගොයම්, කුරහන් ආදි ධාන්‍යයෙහි ඇට සහිත කොටස/ ගෙතූ කොණ්ඩය/ කැප්සියුලය (පා. කරල දෙ. குரல்)

කරවල

නා. ලුණු දමා වේළූ මාළු (දෙ. கருவாடு)

කරළිය

නා. රඟමඬල; වේදිකාව (දෙ. களரி)

කර්කශ

වි. තද; දැඩි; ගොරෝසු/ නපුරු; ක්‍රෑර (සං. කර්කශ)

කර්ණ කඨෝර

වි. කර්ණ කටුක (සං. කර්ණකඨොර)

කර්ණය

නා. කන; ශ්‍රවණේන්ද්‍රිය (සං. කර්ණ)