සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1188

මංජරිය

(පාරිභා.) නා. ශාකයක ප්‍රරෝහයේ මල් හට ගැනෙන කොටස ; පුෂ්ප මංජරිය.

මංඩලය

1. නා. වක්‍රාකාර දෙය ; මඩුල්ල.
2. ප්‍රදේශය ; දේශය.
3. සමූහය ; පිරිස ; රාශිය.
4. කොටස ; කාණ්ඩය.
5. (පරිග.) අන්තර්ජාල මාර්ගගත ව සිටියදී සමාන උනන්දුවක් සහිත පිරිසක් අදහස් හුවමාරුවට හා සල්ලාපයේ යෙදීමට එක්වෙන විශේෂ ස්ථානය.

මංපඩිය

නා. ඉණිමගේ පිය ගැටය ; ඉණිපෙත්ත.

මංපහරනවා

ක්‍රි. මග රැක සිට බලහත්කාරයෙන් මගීන් සතු දේ උදුරා ගන්නවා ; මංකොල්ල කනවා.

මංපෙත්

නා.ප්‍ර. මාර්ග කොටස ; මාර්ගය.

මංමාවත්

නා.ප්‍ර. ලොකු කුඩා පාරවල් ; මහාමාර්ග.

මංමුළාව

නා. පාර වැරදීම ; අතරමං වීම.

මංසතානය

නා. උගුරෙහි හටගන්නා රෝගයක නාමය.

මංසන්ධිය

නා. මාර්ග බෙදී යන තැන ; මාර්ග සන්ධිය.

මංසය

නා. සත්ව ශරීරයක ඇටසැකිල්ල වසා හම තෙක් පවතින පේශිවලින් හා මේදයෙන් සෑදුණු මෘදු කොටස.

මංසල

1. නා. මංසන්ධිය.
2. (පාරිභා.) මධ්‍ය ස්නායු පද්ධතියේ වමේ තන්තු දකුණටත් දකුණේ තන්තු වමටත් මාරු වන ස්ථානයක් ; තීර්යාංගය.

මකන කෑල්ල

නා. (තීන්ත පැන්සල් ආදියෙන් ලියන ලද්දක්) මකා දැමීමට උපයෝගී කරගන්නා කුඩා රබර් කැබැල්ල ; ඉරේසරය.

මකනවා

1. ක්‍රි. නැති කර දමනවා ; විනාශ කරනවා ; යටපත් කරනවා.
2. උල්ලංඝනය කරනවා ; කඩ කරනවා.
3. ලෝහ වර්ග උණුකර ද්‍රව බවට පත් කරනවා.
4. (තීන්ත පැන්සල් ආදියෙන් ලියන ලද දේ ඉවත් කරනවා ; යමක් මත ඇති සටහන් උලා හැරීමෙන් නොපෙනීමට සලසනවා.

මකර

1. නා. මුහුදෙහි වසතැයි විශ්වාස කරනු ලබන විශාලතම මත්ස්‍යයෙක්.
2. විවිධ සංස්කෘතිවලට අයත් මිථ්‍යාකථාවල හැඳින්වෙන උරගයෙක්.
3. කාලය සංකේත කරතැයි සිතිය හැකි පෙරදිග සැරසිලි මෝස්තරයක්.
4. ලග්න හෙවත් රාශි දොළොසින් එකක්.
5. කළු කොප්පරා නම් මත්ස්‍යයා.
6. අනංගයා.

මකර කට

නා. මුහුදු ජලය එක් රැස් ව පෘථිවිය තුළට මහ හඬින් හා වේගයෙන් පිවිසෙතැයි සලකනු ලබන විවරය ; වඩබා මුඛය.

මකර කේතන

නා.ප්‍ර. කාමදේවයා ; මකරධ්වජ.

මකර තොරණ

නා.ප්‍ර. එකිනෙකට හණ මුහුණලා සිටින මකර රූප දෙකකින් යුත් තොරණ විශේෂයක නාමය.

මකර නිවර්තනය

නා. (භූගෝ.) සූර්යයා ගේ දකුණු ගමනේ සීමාව ; නිවර්තන කලාපයේ දකුණු සීමාව.

මකරධ්වජය

නා. මකර රූප සහිත කොඩිය.

මකරන්ද

1. නා.ප්‍ර. මල්පැණි ; මල්රොන් ; මුවරද ; පුෂ්ප මධුව.
2. මී පැණි ; මධු.
3. ඉතා සුවඳවත් අඹ වර්ගයක්.
4. සමන්පිච්ච මල්.

මකරාලය

[මකර + ආලය]
නා. මකරාගේ වාසස්ථානය වන සාගරය.

මකසයා

නා. මදුරුවා.

මක්කට

1. නා.ප්‍ර. වඳුරා ; රිළවා.
2. මෑ වර්ගයක් ; වඳුරු මෑ.