සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 410

කඳුර

1. නා. කඳු අතර වූ දෙණිය; නිම්න භූමිය.
2. නා. කඳු අතර මඩවගුරු සහිත බිම් පෙදෙස.
3. නා. කන්දකින් රූරා වැටෙන කුඩා දියපාර; දොළ; දියකඳුර.

කඳුරට

1. නා. කඳුවලින් ගැවසී ගත් ප්‍රදේශය; කඳුකරය.
2. නා. (ශ්‍රී ලංකාවේ) උඩරට ප්‍රදේශය; උඩරට රාජධානිය.

කඳුවැහි

නා.ප්‍ර. බාධක ව පිහිටි උස් කඳුකරයක් නිසා වාෂ්පයෙන් බර සුළඟ ඉහළට නැඟීමෙන් ඇතිවෙන වැස්ස.

කඳුළ

1. නා. අධික ප්‍රීතිය, ශෝකය, වේදනාව වැනි හැඟීම් නිසා ඇසෙන් වැගිරෙන ද්‍රව බින්දුව; නේත්‍ර ජලය.
2. නා. බින්දුව; ස්වල්පය.

කඳුළුගෑස්

නා.ප්‍ර. ඇසට වැදීමෙන් දැවිල්ල ඇති කොට පෙනීම තාවකාලික ව නැති කරන වායු විශේෂයක් (=tear gas).

කඳේ වැටෙනවා

(කථා.) ක්‍රි. ඉතා මිත්‍ර ලීලාවෙන් කතාවේ වැටී සිටිනවා.

කප

1. නා. ප්‍රමාණය මෙතෙකැයි ගිනීමට ඉතා අපහසු වූ දීර්ඝ කාලපරිච්ඡේදය; කල්පය.
2. නා. ආගමික උත්සවයක් ආරම්භයේ දී දේව ප්‍රතිඥාවක් හෝ කැපවීමක් හඟවනු සඳහා විශේෂයෙන් පිළියෙල කොට සිටුවනු ලබන කණුව හෙවත් ටැඹ.
3. නා. සෙම.

කපට

වි. රැවටිලි ගතියෙන් යුත්; මායාකාර; වංචාකාර; ප්‍රයෝගකාර.

කපටයා

නා. රැවටිලි ගතියෙන් යුත් පුද්ගලයා; අන්‍යයන් රැවටීමෙහි යෙදෙන්නා.

කපණ

වි. දිළිඳු; දුප්පත්; දුගී.

කපණද්ධික

නා.ප්‍ර. දුගී දුප්පත්; දිළිඳු අය සහ මඟියෝ.

කපණයා

නා. දිළින්දා; දුප්පතා.

කපත

[කප් + අත]
නා. කල්පයෙහි අවසානය; කපෙහි කෙළවර; කල්පාන්තය.

කපන කටුව

නා. කළුගල්, කොන්ක්‍රීට්, ලෝහ යනාදිය කැපීම සඳහා පාවිච්චි කරනු ලබන උපකරණ විශේෂයක්.

කපන දත්

නා.බහු. මුඛයෙහි ඉදිරි දත්; උඩු ඇන්දේ ඉස්සරහ දත් හතර හා යටි ඇන්දේ ඉස්සරහ දත් හතර; කෘන්තක දන්ත.

කපනවා

1. ක්‍රි. (යම් ආයුධයකින් හෝ උපකරණයකින්) කැබලි කරනවා; ඡේදනය කරනවා; සිඳිනවා.
2. ක්‍රි. දෙපසට වෙන් කරනවා; දෙකට බෙදනවා.
3. (කථා.) ක්‍රි. (මැල්ලුම් ආදිය) සිහින් ව ලියනවා.
4. (කථා.) ක්‍රි. ක්‍රියා විරහිත කරනවා; අවලංගු කරනවා; ප්‍රතිඵල රහිත කරනවා.
5.(කථා.) ක්‍රි. (නාම ලේඛනයකින් යම් කිසිවකුගේ නම් ආදිය) ඉවත් කරනවා; බැහැර කරනවා.
6. ක්‍රි. (පාරක් හෝ උළු ගඩොල් ආදිය සම්බන්ධයෙන් යෙදේ) තනනවා; සකසනවා.
7. ක්‍රි. කනිනවා; හාරනවා.
8.(කථා.) ක්‍රි. ලී, කළුගල් ආදියෙන් යම් රූප හැඩ ගස්වනවා; නෙළනවා.
9. (කථා.) ක්‍රි. අන් අය කෙරෙහි අහිතකර අන්දමින් බලපෑම් කරනවා; තනතුරු සුදුසුකම් ආදියට බලපෑම් කරනවා.
10. (කථා.) ක්‍රි. විනාශය ඇති කර ගන්නවා.

කපරාරුව

1. නා. වැලි, මැටි, හුණු, සිමෙන්ති ආදියෙන් පිළියෙල කරගත් බදාමය.
2. නා. එබඳු බදාම ආලේපය.

කපල

1. නා. පාත්‍ර කැබැල්ල; වළන් කැබැල්ල.
2. නා. හිස් කබල; ඔළු කටුව.
3. නා. ඉබි, කැස්බෑ ආදි සතුන්ගේ පිට කටුව.

කපල්ල

නා. අඛණ්ඩ ව දිවෙන කඳු වැටි, ප්‍රාකාර, වැට ආදි දෙයක් දෙකඩ කරන පහත් හිස් විවරය.

කප්

1. නා.ප්‍ර. වෛදික යාග විධි හා ක්‍රම විස්තර කෙරෙන ශාස්ත්‍රය.
2. නා.ප්‍ර. සිතීම; කල්පනය; සංකල්පය.
3. නා.ප්‍ර. කම්පනය; චංචලවීම.
වි. කැප; සුදුසු; යහපත්.

කප් ඉන්දනවා

ක්‍රි. කමතක ගොයම් පෑගීමේදී හෝ බලිතොවිල් මගුල් ආදි විශේෂ කරුණු අරබයා මණ්ඩප ඉදි කිරීමේදී විශේෂයෙන් පිළියෙල කරන ලද ටැඹක් සිටුවනවා.

කප් කෙළ

1. නා. එනම් සංඛ්‍යාව; කල්ප කෝටිය.
2. නා. කල්පයේ කෙළවර.

කප් ගින්න

නා. කල්පාන්තයේ දී ඇති වන ගින්න; කල්පාග්නිය.

කප් තුර

නා. දෙව්ලොව ඇතැයි කියනු ලබන සිතූ පැතූ සම්පත් දෙන වෘක්ෂය.