සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 500

කුහරය

1. (පාරිභා.) නා. කුහර සහිත තැන; විවරය.
2. නා. ඇතුළ; කුක්ෂිය; ගර්භය.
3. නා. වළ; කෙවෙණිය(=socket).
4. (පාරිභා.) නා. ප්‍රණාලයක සිදුර (=lumen).

කුහුල

1. නා. අපූර්ව වස්තු විෂයයෙහි ජනිත වන ආශාව; යමක් හාරා අවුස්සා බැලීමේ කැමැත්ත; කුතුහලය.
2. නා. විස්මය; පුදුමය.
3. නා. සැකය; ශඞ්කාව; කුකුස.

කුළ

1. නා. කන්ද; පර්වතය; කූටය; කන්දක හෝ පර්වතයක මුදුනත; ගිරිකුළ; ශිඛරය.
2. නා. සොරකම; වංචාව; සොරා ගත් දේ; අසත්‍යය.
3. නා. ගල් ලෙන.
4. නා. ගල් කැඩීම, යකඩ තැළීම ආදිය සඳහා ගැනෙන බර මිටිය; කුළු ගෙඩිය; යකුළ.

කුළම

නා. වැව.

කුළම්බුව

නා. බෙහෙත් ද්‍රව්‍ය තලා හෝ අඹරා සාදා ගන්නා උකු ඖෂධ යෝගය; ගින්නෙහි පැසවා සාදා ගන්නා ආටෝප සහිත බෙහෙත් කායම.

කුළල

1. නා. නළයක් හෝ බටයක් වැනි දෙය.
2. නා. නළාව.
3. නා. බෙල්ල; ග්‍රීවය; බොටුව.

කුළල් කාගන්නවා

1. ක්‍රි. ආරාවුල් කරනවා; අරගල කරනවා; සණ්ඩු දබර කරනවා.
2. ක්‍රි. තරගකාරී ව එකිනෙකාට විරුද්ධ ව ක්‍රියා කරනවා.

කුළාව

නා. තෙල් ඉදිකටු ආදිය දමන කුප්පිය හෝ (බට පුරුක් වැනි දෙයකින් කළ) කොපුව.

කුළු

1. වි. කටුක; කර්කශ; අමිහිරි.
2. වි. නපුරු; රෞද්‍ර; හීලෑ නැති; චණ්ඩ; කපටි; වංචා සහගත; ප්‍රයෝගකාර.
1. නා.ප්‍ර. කන්දක හෝ පර්වතයක මුදුන; ගිරිකුල; ශිඛර; පර්වත.
2. නා.ප්‍ර. සොරකම; වංචාව; සොරා ගත් දේ.
3. නා.ප්‍ර. ගල් ලෙන.
4. නා.ප්‍ර. කට දවන රසය; කුළු රසය.
5. නා.ප්‍ර. වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන තුන් වර්ගය.
6. නා.ප්‍ර. කුකුළා; කුක්කුට පක්ෂියා.
7. නා.ප්‍ර. කුඩා ගෙය; කුටි.

කුළු ගන්නවා

ක්‍රි. මුදුන්පත් වෙනවා; මස්තකප්‍රාප්ත වෙනවා.

කුළු ගසනවා

ක්‍රි. කුළු ගෙඩියෙන් හෙවත් මහ මිටියෙන් ගසා තළනවා.

කුළු ගෙඩිය

නා. ගල් කැඩීමට හා යකඩ තැලීමට ගන්නා මහ මිටිය යකුළ.

කුළු බිත්තිය

(පාරිභා.) නා. පළ දෙකක් සහිත ගෙයක දෙකෙළවර පිහිටි බිත්තිවල ත්‍රිකෝණාකාර වූ උඩු කොටස (=gable wall).

කුළු රසය

නා. කර්කශ රසය; කටුකරසය.

කුළු සිත

නා. නොහික්මුණු මනස; නොදැමුණු සිත.

කුළුකහවණු

නා.ප්‍ර. සොර කාසි; ව්‍යාජ කහවණු.

කුළුගෙය

1. නා. එක් කැණිමඩලක් සහිත ව කළ ගෘහය; කූටාගාරය; කේතු ආකාර වහලින් යුතු ගෙය හෝ මණ්ඩපය.
2. (කථා.) නා. විශාල ගෙය.

කුළුදිය

නා. කටුක රසයෙන් යුත් ජලය; අමිහිරි ජලය; කටුක උදකය.

කුළුදොර

නා. (ලීවරයකින් ක්‍රියා කරවන) කුඩා දොර (=trap door).

කුළුබඩු

නා.ප්‍ර. සැර සුවඳින් හා කටුක රසින් යුත් උද්භිද ද්‍රව්‍ය; තුනපහ.

කූචකාහදාහය

(පාරිභා.) නා. පයෝධර අස්ථියේ වාත සෛලවල ඉදිමුම හෙවත් තඩිස්සිය (= mastoiditis).

කූජනය

නා. (විශේෂයෙන් ම) පක්ෂීන්ගේ නාදය; නාද කිරීම; හැඬීම.

කූඤ්ඤ ගහනවා

1. ක්‍රි. (කථා.) දර පැළීම, ලණු ඇදීම ආදිය සඳහා කූඤ්ඤ සවි කරනවා
2. ක්‍රි. (කිසිවෙකුගේ කාර්යයකට) බාධා පමුණුවනවා; (රහසිගතව) හානි පමුණුවනවා.

කූඤ්ඤය

නා. මුල සිට ක්‍රමයෙන් සිහින් වී යන කෙටි (ලී ලෝහ වැනි තද ද්‍රව්‍යයකින් සාදන ලද) උල.