සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 710

තනි යහන

නා. සැමියාගෙන් හෝ බිරියගෙන් වෙන් ව හුදෙකලා ව විසීම; විප්‍රවාසය.

තනි සටහන් ක්‍රමය

(පාරිභා.) නා. ගනුදෙනුකාරයන්ගේ පෞද්ගලික ගිණුම් පමණක් සඳහන් වන ගණන් තැබීමේ ක්‍රමයක් (=single entry system).

තනි හිමිකම

(පාරිභා.) නා. පොදු නොවූ අයිතිය; සීමා කරන ලද අයිතිවාසිකම (=exclusive ownership).

තනි-නොතනියට

ක්‍රි.වි. තනි රැකීමට; හුදෙකලාබව නැති කිරීමට; පාළුව මඟහැරවීමට.

තනිකඩ

වි. අවිවාහක; පවුල් නොවූ.

තනිකම

1. නා. දේශීය භූත විද්‍යාවේ දැක්වෙන පරිදි තනි වීමෙන් ඇති වන බය; තනිකම් දෝෂය; තනිවීමෙන් හට ගනිතියි සැලකෙන අමනූෂ්‍ය උපද්‍රවය.
2. නා. හුදෙකලා බව

තනිකර

වි. අනෙක් දේකින් තොර; කළවමක් නැති; හුදු; කේවල.

තනිකලා මෝටරය

(පාරිභා.) නා. ඒකීය ප්‍රත්‍යාවර්තන වෝල්ටීයතාවක් මගින් ශක්ති සමාපනය කරනු ලබන මෝටරය (=single phase motor).

තනිගිණුම් ක්‍රමය

(පාරිභා.) නා. වාණිජ ව්‍යාපාරවල හෝ බැංකුවල මුදල් ආදිය පිළිබඳ ගණන් බැලීමේ හා තැබීමේ ක්‍රමයක් වන තනි ගණන් ගැනීමේ ක්‍රමය (=single account system).

තනිදණ්ඩ

නා. කකුලේ දණටත් ඇස්වටයටත් අතර ඉදිරිපස කොටස.

තනිදොස

1. නා. වා පිත් සෙම් යන දෝෂයන්ගෙන් එකක්.
2. (කථා.) නා. හුදකලාවීමේ දොස; කිලිදොස; යක්ෂ හෝ පෙරේත දෝෂ.

තනිනූල

1. (කථා.) නා. එක් පොටකින් යුත් නූල.
2. නා. රෝගියකුගේ සිරුරේ අවයවයක ඇදුරකු විසින් ඇපයක් හෝ බාරයක් වශයෙන් බඳිනු ලබන නූල; ඇප නූල.

තනිපංගලමේ

1. ක්‍රි.වි. සහායකයකු නැති ව; හුදෙකලා ව.
2. ක්‍රි.වි. අවිවාහක ව.

තනිපංගුව

ක්‍රි.වි. හුදෙකලා ව; තනි ව; තනියම.

තනිපට

1. (කථා.) නා. එකපට; එකස්තරය.
2. නා. පොටවල් එකකින් පමණක් යුත් නූල; තනි නූල.

තනිපට සිවුර

නා. එක පටකින් යුක්ත වන සේ මසා නිම කළ සිවුර; උත්තරාසඞ්ගය.

තනිපහර එන්ජිම

(පාරිභා.) නා. එක් පිස්ටනයක ප්‍රහාරයකින් ක්‍රියා කරන යන්ත්‍රය (=single stroke engine).

තනිපාඩුවේ

ක්‍රි.වි. අන්‍යයන් හා සම්බන්ධ නොවී; තනියම; අනුන්ට හිරිහැර නොවන පරිදි; අනුන්ගේ දේවල් නොසොයා.

තනිපාදය

1. නා. තනි මූට්ටුව ඇති සරම; උස අතට පමණක් මූට්ටුව සහිත සරම.
2. නා. පොත් තැබීමේ ක්‍රමයක්; අය වැය දෙක ම තනි ගණන් යටතේ ලිවීමේ ක්‍රමය; කේවල සටහන් ක්‍රමය (=single entry).

තනිපිට

(කථා.) නා. තනිපැත්ත; එක පැත්ත.
(කථා.) ක්‍රි.වි. තනියම; සමූහයාගෙන් වෙන්කොට; එක පක්ෂයක් පමණක් ඇති ව.

තනිමංසලේ

1. ක්‍රි.වි. සහායකයකු නැති ව; හුදෙකලා ව; තනි ව.
2. ක්‍රි.වි. අවිවාහක ව.

තනිමග

1. නා. ජනයාගෙන් තොර වූ මාර්ගය.
2. නා. පාළුමඟ.

තනිමුරය

නා. මළගෙයකට අසල්වැසි ආදින් ආරක්ෂාව. සලසන

තනිමූට්ටුව

(පාරිභා.) නා. රෙදි කැබලි දෙකක් එකට යා කිරීම සඳහා මහන සරල මැස්ම (=plain seam)