සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 917

නිතැත

නා. තැතකින් හෙවත් යත්නයකින් තොරබව; නිරායාසය; නිරුත්සාහය.

නිතැතින්

ක්‍රි.වි. නිරායාසයෙන්; නිරුත්සාහයෙන්; ඉබේ ම.

නිති

ක්‍රි.වි. නිත්‍ය; නිරතුරු; හැමවිට; අනවරතයෙන්.

නිතිති

නා.ප්‍ර. තිත්ත රස නොවු ව; පැණි රස.

නිතිපතා

ක්‍රි.වි. නිරතුරුව; නොකඩවා ; අනවරතයෙන්.

නිතෙජ

වි. තේජසින් තොර; බැගෑපත්; ලජ්ජාවට පත් වූ; උදාරබවෙන් තොර.

නිදන

1. වි. නින්දෙහි යෙදී සිටින; නිදා සිටින; ශයනය කරන.
2. (පාරිභා.) වි. ක්‍රියාකාරී නොවන; නිෂ්ක්‍රීය; නිහඬ (=dormant).
3. වි. ධනය නැති; දුප්පත්; නිර්ධන.
1. නා. මුල් වූ කරුණ; මූලාශ්‍රය; උත්පත්තිය; (රෝග) කාරකය.
2. නා. (රහසිගත ව) තැන්පත් කොට තැබූ වස්තුව; නිධානය.

නිදන මල්ල

නා. එළිමහනේ නිදා ගැනීම සඳහා ගුදිරියක හා පොරෝනයක කාර්යය ඉටු කරන ලොකු මලු විශේෂයක්.

නිදන මැදිරිය

1. නා. නිදාගන්නා මැදිරිය.
2. නා. දිගු ගමනක් යාමේ දී දුම්රියේ නිදාගැනීම සඳහා වෙන් කර ඇති දුම්රිය මැදිරිය.

නිදන යමහල

(පාරිභා.) නා. බොහෝ කලක් ක්‍රියා විරහිත වුවද, කවදා හෝ පිපිරීමට ඉඩ ඇති ගිනිකන්ද (=dormant volcano).

නිදනවා

ක්‍රි. නින්දට වැටෙනවා; ශයනය කරනවා; සැතපෙනවා.

නිදන් අරමුදල

නා. (ආර්ථි.) පොදු ණයක් ගෙවීම සඳහා රැස්කොට ඇති අරමුදල (=sinking fund).

නිදන් කරනවා

1. ක්‍රි. චෛත්‍ය ප්‍රතිමා ආදියෙහි ධාතු හා වටිනා වස්තු තැන්පත් කරනවා.
2. ක්‍රි. රහසිගත ලෙස හෝ විශේෂ ආරක්ෂා සහිත ව ධනය, වස්තුව තැන්පත් කරනවා.
3. ක්‍රි. වළලනවා; මිහිදන් කරනවා.

නිදන් වදුල

(කථා.) නා. රහසිගත ව තැන්පත් කරනු ලැබූ නිධාන පිළිබඳ තොරතුරු ඇතුළත් ලියවිලි විශේෂය.

නිදන්ගත

1. වි. මුල් බැස ගත්; කල් අල්ලා සිටින; සුව නොවී පවත්නා.
2. වි. සුරක්ෂිත ව තබන ලද.

නිදර

[නි + දර]
1. නා.ප්‍ර. දෙව්ලෝ වැසියා; දෙවියා.
2. නා.ප්‍ර. දිය ඇල්ල; කඳුරැලිය.

නිදර්ශකය

නා. විශාල යමක් නියෝජනය කිරීමට ගනු ලබන සුළු කොටස; නියැදිය.

නිදර්ශනය

1. නා. උදාහරණයක් වශයෙන් කිසියම් ද්‍රව්‍යයකින් ගන්නා කොටස; (=නියැඳිය) සංකීර්ණ හෝ එකවර අවබෝධ කර ගැනීමට අපහසු යමක් පැහැදිලි කිරීමට යොදා ගන්නා උපමාමය ප්‍රකාශනය.
2. නා. හේතුව; මුල් වූ කරුණ.
3.(පාරිභා.) නා. ආදර්ශය; නිදර්ශනය; ආකෘතිය; අනුරුව.

නිදර්ශි

වි. විස්තර කරන; පෙන්වා දෙන; දකින.

නිදරැල්ල

නා. දිය ඇල්ල.

නිදලය

(පාරිභා.) නා. මලක පෙතිවලටත් නටුවටත් අතර ජායාංගය වටා පිහිටා ඇති කුඩා පත්‍ර; ඩිම්බ පත්‍රය; මණිපත්‍රය (=sepal).

නිදහස

1. නා. නිවහල්බව; ස්වාධීනත්වය; ස්වෛරීභාවය; වගකීම් ආදියෙන් මිදීම; බාධාවක් නොමැති.
2. නා. ගාස්තු අය කිරීමක් නැති; මුදල් නොගන්නා.

නිදහස් අධ්‍යාපනය

නා. මුදල් අයකිරීමෙන් තොර ව දෙනු ලබන අධ්‍යාපනය; රජයේ වියදමින් දෙනු ලබන අධ්‍යාපනය.

නිදහස් ආණ්ඩුව

නා. බාහිර බලවේගයකට යටත් නොවී රටක පවත්නා ස්වතන්ත්‍ර පාලන ක්‍රමය.