සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 961

නීඳු

[නී + ඉඳු]
1. නා.ප්‍ර. ජලයට ප්‍රධානයා; සාගරය; මුහුද; සමුද්‍රය.
2. නා.ප්‍ර. සමුද්‍රයට නායකයා වන කුවේරයා; වෛශ්‍රවණයා.
3. නා.ප්‍ර. සොරා; චෞරයා.

නීප

නා.ප්‍ර. බක් මී.

නීපණයා

නා. ජලයේ ප්‍රාණියා වන මත්ස්‍යයා; මාලුවා.

නීයාන

1. වි. නික්ම යන; නික්මෙන.
2. වි. සසරින් මිදීමට හේතු වන.

නීයානික

වි. නිවන කරා පමුණුවන; නිවනට පමුණුවන.

නීර

නා.ප්‍ර. ජලය; දිය.

නීරක්තිය

නා. රුධිරය හීන වීමේ රෝගය; රක්ත හීනකම.

නීරක්‍රීඩා

නා.ප්‍ර. ජලක්‍රීඩාව; දියකෙළිය.

නීරජ

[නී + රජ]
වි. දියෙහි උපන්; ජලජ.
1. නා.ප්‍ර. ජලයෙහි හටගන්නා දෙය; නෙළුම්; පියුම්.
2. නා.ප්‍ර. නදීන්ගේ රාජයා.

නීරද

1. නා. සමුද්‍රය; මුහුද.
2. නා. වළාකුළ; මේඝය.
3. නා. පියුම; පද්මය.

නීරස

වි. රසවත් නොවූ; රුචිය හෙවත් ඇල්ම නැති; අප්‍රිය.

නීරූප

වි. රූපයක් නැති; අරූප.

නීරෝග

වි. ශරීරික ආබාධවලින් තොර; ලෙඩ රෝග නැති; නීරෝගී.

නීල

1. නා.ප්‍ර. පාට විශේෂයක්; නිල්පැහැය.
2. නා.ප්‍ර. උගුර දෙපස හනුව ආශ්‍රිත ව පිහිටි ධමනි විශේෂය.

නීල ගුළිය

(පාරිභා.) නා. රසදිය ගුළිය.

නීලකණ්ඨ

1. නා.ප්‍ර. නිල් ගෙලක් ඇත්තා වන ඊශ්වර; මෙහෙසුරු.
2. නා.ප්‍ර. නිල් ගෙලක් ඇත්තා වන මොනරා; මයූරයා.

නීලකසිණ

නා.ප්‍ර. යෝගාවචරයකු විසින් භාවනාවට අරමුණු කරගනු ලබන නිල් පැහැති මණ්ඩලය; සම සතළිස් කර්මස්ථානවලට අයත් දස කසිණ අතරින් එකක්.

නීලකහාපණ

නා.ප්‍ර. කහවණු විශේෂයක්; නිල් කහවණු.

නීලකාන්ත

නා.ප්‍ර. මැණික් වර්ගයක නාමය.

නීලග්‍රීවයා

1. නා. මෙහෙසුරා.
2. නා. මොනරා.

නීලදල

නා.ප්‍ර. නිල්පාට කොළ; නිල් කොළ.

නීලපට

නා. නිල් වස්ත්‍රය.

නීලපත්‍ර

නා.ප්‍ර. නිල්පාට කොළ; නිල් කොළ.

නීලපද්ම

නා.ප්‍ර. නිල් මහනෙල්.