අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 120

චූර්ණිකාව

නා. ගාථා ශ්ලෝකාදිය පිළිබඳ විස්තරාත්මක කථනය/ උත්සව අවස්ථාවන්හි දී කරනු ලබන වර්ණනාත්මක දේශනය/ කයිවාරුව; පුරසාරම (සං. චූර්ණිකා)

චූල

වි. සුළු; කුඩා (පා. චූල, චූළ)

චූලවංශය

නා. ලංකා රාජාවලියේ මහසෙන් රජුට පසුව රජ කළ රජුන්ගේ පරපුර/ පාලි භාෂාවෙන් ලියා ඇති මහාවංසයේ දෙවැනි කොටස

චූෂකය

නා. උරාගැනීම සඳහා ගන්නා උපකරණය

චූෂණය

නා. උරා බීම; ද්‍රවයක් හෝ වායුවක් උරාගැනීමෙන් ඉවත් කිරීම (සං. චූෂණ)

චේතනාව

නා. සිතිවිල්ල (පා. චෙතනා)

චේතියඝර

නා.ප්‍ර. දාගැබක ආවරණය පිණිස ඒ වටා කළ ගෙය (පා. චෙතියඝර)

චේලායුධය

නා. ආලවක යක්ෂයාගේ මහා බලගතු ‘උතුරු සළුව’ නම් ආයුධය

චේෂ්ටාව

නා. අඟපසඟ සැලීම් ආදි ශාරීරික ක්‍රියාව/ කායික උත්සාහය (සං. චෙෂ්ටා)

චෛතන්‍යය

නා. චේතනාව/ ආත්මය; ජීවය (සං. චෛතන්‍ය)

චෛතසික

වි. සිත මුල් කරගත්; සිතෙහි හටගන්නා (පා. චෙතසික සං. චෛතසික)

චෛත්‍යය

නා. බුදු, පසේ බුදු, මහරහත්, සක්විති යන සතර කොටසට අයත් උතුමන්ගේ ධාතු නිදන් කොට තැනූ ගොඩනැගිල්ල; දාගැබ (සං. චෛත්‍ය)

චෛත්‍යාංගණය

නා. සෑ මළුව; චෛත්‍ය මිදුල

චෝදක

වි. දොස් නඟන; වරද දක්වන (පා. සං. චොදක)

චෝදනාව

නා. දොස් පැවරීම; අපවාදය (පා. සං. චොදනා)

චෝදිතයා

නා. චෝදනා ලැබූ පුද්ගලයා; චූදිතයා (පා. සං. චොදිත)

චෝල

නා.ප්‍ර. දකුණු ඉන්දියාවේ පැරණි රාජ්‍ය ප්‍රදේශයක නාමය; සොළී රට (සං. චොල දෙ. சோழ)

චෝලය

නා. රෙද්ද; වස්ත්‍රය/ වැස්ම; ආවරණය (පා. සං. චොල)

චෞර

වි. සොරකමෙහි යෙදෙන; සොරුන් හා සම්බන්ධ (සං. චෞර)

චෞල

නා.ප්‍ර. හිස මුඩු කිරීමේ දී මුදුනේ ඉතිරි කරන කෙස් රොද; කුඩුම්බිය (සං. චෞල)

ඡට්ඨ

වි. සවැනි; හයවැනි (පා. ඡට්ඨ)

ඡත්තපාණි

නා.ප්‍ර. ඡත්‍රයක් අතින් ගත් තැනැත්තා (පා. ඡත්තපාණි)

ඡත්‍රය

නා. කුඩය/ රාජකීය ලාඤ්ඡනය ලෙස සලකන සුදු කුඩය; සේසත/ චෛත්‍යයක මුදුනේ සාදන ලද දාරුමය හෝ ශෛලමය හෝ කුඩ සටහන (සං. ඡත්‍ර, ඡත්ත්‍ර)

ඡත්‍රාවලිය

නා. දාගැබක මුදුනෙහි එකක් මත එකක් සිටින සේ නංවා ලූ ඡත්‍ර සමූහය