අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 135

තාරුණ්‍යය

නා. තරුණකම; යොවුන් බව (සං. තාරුණ්‍ය)

තාලච්ඡිද්‍රය

නා. යතුරු කපොල්ල (පා. තාලචඡිද්ද)

තාලම

නා. තාළම

තාලය

නා. රිද්මය; කාලමානය/ලීලාව; ආකාරය (සං. තාල)

තාලිය

1. නා. කට ලොකු විශාල භාජනය (සං. ස්ථාලි) 2. තැල්ල (දෙ. தாலி)

තාලුජ

වි. තල්ලෙන් උපදින (පා. සං. තාලුජ)

තාවකාලික

වි. සුළු කාලයකට පවත්නා; අස්ථිර (පා. තාවකාලික)

තාවතිංසය

නා. තව්තිසා දෙව්ලොව (පා. තාවතිංස)

තාවලු

නා.ප්‍ර. වැවට යාබද ව පිහිටි වගා කළ හැකි කොටස

තාළම

නා. සංගීත තාල මානය; රිද්මය (දෙ. தாளம்)

තාළම්පට

නා. තාලය දීමට හඬ නංවන ලෝහමය කුඩා තැටි යුගල; කයිතාළම

තැන

නා. ස්ථානය/ අවස්ථාව/ දුර ප්‍රමාණය/ පදවිය/ තොරතුර (පා. ඨාන සං. ස්ථාන)

තැනිතලාව

නා. සමතලා ප්‍රදේශය; තැනිතලා බිම

තැපෑල

නා. ලිපි හුවමාරු කෙරෙන ක්‍රමය (දෙ. தபால்)

තැඹිලි

නා.ප්‍ර. තැඹිලි වර්ණයෙන් යුතු බහුලව කුරුම්බා සඳහා භාවිතයට ගැනෙන පොල් වර්ගයක නාමය

තැලි

1. නා.ප්‍ර. කර පළඳනාව; මාලය (දෙ. தாலி) 2. පිහි, උදලු ආදියෙහි තලය (පා. සං. තල)

තැලිපිළි

නා.බහු. මංගල පෝරුවේ දී මනමාලයා මනමාලියට පලඳවන මාලය සහ අන්දන වස්ත්‍රය

තැවුල

නා. තැවීම/ චිත්ත සන්තාපය

තැළුම

නා. ‘තළනවා’ යන්නෙහි භාව නාමය

තැළෙනවා

ක්‍රි. පීඩාවට පත්වෙනවා/ පොඩි වෙනවා

තිකුළු

1. නා.ප්‍ර. ගම්මිරිස්, ඉඟුරු, තිප්පිලි යන ත්‍රිකටුකය (සං. ත්‍රිකටුක) 2. මහමෙර උසුලා සිටින පර්වතය (සං. ත්‍රිකුට)

තිගැස්සුණු

වි. ‘තිගැස්සෙනවා’ යන්නෙහි අතීත කෘදන්තය

තිත

නා. පැන්සල් ආදියෙන් පෘෂ්ඨයක් මත තබන වටකුරු කුඩා සලකුණ/ වාක්‍යයක් අවසානයේ යොදන විරාම ලකුණ

තිථිය

නා. චන්ද්‍රයා කලාවකින් අඩු වන හෝ වැඩි වන කාලය; චන්ද්‍රමාසයක දිනක් වන කාලය (පා. සං. තිථි)