අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 189

පරික්ෂිත

වි. තුවාල කරන ලද; තුවාල වූ (සං. පරික්‍ෂිත)

පරික්ෂිප්ත

වි. වට කරන ලද (සං. පරික්‍ෂිප්ත)

පරික්ෂීණ

වි. බෙහෙවින් ගෙවී ගිය; අවසන් ව ගිය/ වස්තු භංගත්වයට පත් වූ; දේපළ හානියට පැමිණි (සං. පරික්‍ෂීණ)

පරික්ෂේපය

නා. වට කිරීම; සිසෑරීම/ භගන්දර පිළිකා රෝග විශේෂයක් (සං. පරික්‍ෂෙප)

පරික්‍රමණය

නා. වටා ගමන් කිරීම (සං. පරික්‍රමණ)

පරිඛාව

නා. අගළ; දිය අගළ/ විවරය; පැළුම (සං. පරිඛා)

පරිගණකය

නා. කොම්පියුටරය

පරිග්‍රහ

නා.ප්‍ර. අල්ලා ගැනීම; ග්‍රහණය/ අවබෝධ කිරීම; ධාරණය (සං. පරිග්‍රහ)

පරිග්‍රහණය

නා. දැඩි ව අල්ලා ගැනීම/ පරීක්ෂා කිරීම; වීමංසනය/ විවාහය (සං. පරිග්‍රහණ)

පරිගෘහීත

වි. අයිති කර ගත්; අරක් ගත්/ විවාහ කර ගත් (සං. පරිගෘහිත)

පරිචය

නා.ප්‍ර. පුරුද්ද; පළපුරුද්ද (පා. සං. පරිචය)

පරිච්ඡින්න

වි. සීමා කළ; වෙන් කළ (පා. පරිච්ඡින්න)

පරිච්ඡේදය

නා. වෙන් කළ කොටස; යම් කාරණයකට අදාළ කොටස/ සීමාව; මායිම (පා. සං. පරිච්ඡෙද)

පරිඥාත

වි. විශේෂයෙන් දැනගන්නා ලද; පිරිසිඳින ලද (සං. පරිඥාත)

පරිඥානය

නා. මනා දැනීම; පිරිසිඳ දැනීම (සං. පරිඥාන)

පරිණත

වි. මේරූ; මුහුකුරා ගිය (පා. සං. පරිණත)

පරිණාමය

නා. මුහුකුරා යෑම/ වෙනස් වීම; විපර්යාසය (පා. සං. පරිණාම)

පරිණායකයා

නා. උපදේශකයා/ ආරක්ෂකයා/ අධිපතියා (පා. සං. පරිණායක)

පරිණාහය

නා. මහත; පළල/ වට ප්‍රමාණය (පා. සං. පරිණාහ)

පරිණීත

වි. විවාහක (සං. පරිණීත)

පරිත්‍යාග

නා.ප්‍ර. පරිනැමීම; ප්‍රදානය/ ඉවත් කිරීම/ වැළැක්වීම (සං. පරිත්‍යාග පා. පරිච්චාග)

පරිත්‍රාණය

නා. ආරක්ෂාව; රැකවරණය/ පිරිත (සං. පරිත්‍රාණ)

පරිතාපනය

නා. හාත්පසින් තැවීම; දුක් දීම (පා. පරිතාපන)

පරිතෝෂය

නා. මහත් සතුට/ සතුටක් වශයෙන් දෙන ත්‍යාගය/ වට්ටම (සං. පරිතොෂ)