අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 193

පලා යනවා

ක්‍රි. පැන යනවා; වේගයෙන් යනවා (පා. පලායති)

පලාපල

නා. හොඳ නොහොඳ; සුබ අසුබ/ ලොකු කුඩා ගෙඩි (පා. සං. ඵලාඵල)

පලාල

නා.ප්‍ර. පිදුරු/ වයස් ප්‍රමාණය (පා. සං. පලාල)

පලිප්පු

නා.ප්‍ර. රන් රිදී ආදියෙහි ඇති දිලිසෙන ඔපය (දෙ. பளபளப்பு)

පලිබෝධනාශක

නා.ප්‍ර. සත්ත්වයන්ට හෝ ශාකවලට හානි කරන ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වසංගත තත්ත්වයන් මැඩ පවත්වන රසායනික ද්‍රව්‍ය

පලිබෝධය

නා. හිරිහැරය; බාධකය/ වසංගත රෝගය (පා. පලිබොධ)

පලිරෝධය

නා. බාධකය; දෝෂය

පලිහ

නා.ප්‍ර. ආත්මාරක්ෂාව සඳහා ආයුධ පහර වැළැක්වීමට භාවිත කරන ලෝහයෙන් හෝ සමෙන් සැකසුණු උපකරණය

පලු

1. නා.ප්‍ර. සම මතුපිට නැගෙන කුඩා ගඩුව 2. ගස් වර්ගයක් (පා. සං. පීලු)

පලුකන්

නා.ප්‍ර. කුඩා බුලත් රිකිල්ල

පලුද්ද

නා. යම් භාණ්ඩයකට සිදු වී ඇති දෝෂය/ කැලල/ කිලුට; දූෂණය/ දැවවල දක්නට ලැබෙන දෝෂයක් (දෙ. பமுது)

පවන

නා. සුළඟ (සං. පවන)

පවර

වි. උතුම්; ශ්‍රේෂ්ඨ/ ප්‍රසිද්ධ (පා. පවර)

පවරනවා

ක්‍රි. යමක් කිරීමට භාර ගන්නවා/ අයිතිය දෙනවා/ ආරාධනා කරනවා (පා. පවාරෙති)

පවලම්

නා.ප්‍ර. පබළු මාලය; ඇටවැල (දෙ. பவளம்)

පවාරණය

නා. ආරාධනය/ පැවරීම/ අත්හැරීම/ වස් අවසන් කිරීම (පා. පවාරණා)

පවාළ

නා.ප්‍ර. පබළු (සං. ප්‍රවාල පා. පවාළ)

පවුල

නා. අඹුසැමි යුවළ හා දරු පිරිස/ පාංශුකූල රෙද්දෙන් කළ චීවරය

පශ්චාත්

වි. පසුව; ඉක්බිති ව; අනතුරු ව; (සං. පශ්චාත්)

පශ්චාත්තාප

නා.ප්‍ර. පසුතැවිල්ල (සං. පශ්චාත්තාප)

පශ්චිම

නා.ප්‍ර. අවසානය/ බටහිර දිශාව (සං. පශ්චිම)

පශු

නා.ප්‍ර. ගව, අස්, බලු ආදි සිවුපා සත්ත්වයා (සං. පශු)

පශු වෛද්‍ය

නා.ප්‍ර. සතුන්ගේ රෝගවලට ප්‍රතිකාර කරන්නා

පසඟ

1. නා.ප්‍ර. අංග පහ (පා. සං. පඤ්චාංග) 2. කුඩා අවයවය (පා. පච්චඞ්ග සං. ප්‍රත්‍යඞ්ග)