අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 223

පූණ නූල

නා. උසස් කුල කුමරුවන්ගේ උපනයන මංගල්‍යයේ දී හින්දු ආගමික සිරිතක් ලෙස පලඳන නූල (දෙ. பூணறூல்)

පූරණය

නා. පිරවීම; සම්පූර්ණ කිරීම (සං. පූරණ)

පූර්ණ

වි. පිරුණු (සං. පූර්ණ)

පූර්ණ ඝටය

නා. පුන්කලස/ පිරුණු කළය

පූර්වකෘත

වි. කලින් කරන ලද/ පෙර ජාතියේ කරන ලද (සං. පූර්වකෘත)

පූර්වභාගය

නා. මුල් කොටස/ පෙරවරුව; දිනයේ මුල් කොටස (සං. පූර්වභාග)

පූර්වාදර්ශය

නා. ආදර්ශයට ගනු ලබන පෙර සිදුවීම

පෘතුගාලය

නා. පුර්තුගාලය

පෘතුගීසි

නා.ප්‍ර. පුර්තුගීසි

පෘථග්ජනයා

නා. පුහුදුන් පුද්ගලයා/ අඥානයා (සං. පෘථග්ජන)

පෘථිවිය

නා. පොළොව (සං. පෘථිවි)

පෘථුල

වි. පැතිරුණු; පළල් (පා. පුථුල සං. පෘථුල)

පෘෂ්ඨය

නා. මතුපිට/ බාහිර ඝන තට්ටුව (සං. පෘෂ්ඨ)

පෘෂ්ඨවංශය

නා. කොඳු ඇට පෙළ; කශේරුකාව (සං. පෘෂ්ඨවංශ)

පෙකණිය

නා. නාභිය (මල. පොක්කිළ්, පොක්කුළ් දෙ. பொக்கிணி)

පෙකණිවැල

නා. මවුකුස තුළ සිටින ක්ෂීරපායී සත්ත්වයන්ගේ නාභිය හා වැදෑමහ සම්බන්ධ කරන නාලය

පෙණ

1. නා.ප්‍ර. නයාගේ හිස කොටස (පා. සං. ඵණ) 2. ජලයෙහි සබන් හෝ වෙනත් ද්‍රව වර්ග කැලඹීමෙන් ඒ මත ඇති වන බුබුළු (පා. ඵෙණ සං. ඵෙන)

පෙණහල්ල

නා. ශරීරයෙහි උරකුහරයෙහි පිහිටි ශ්වසනය සඳහා අත්‍යවශ්‍ය ඉන්ද්‍රිය

පෙතිපිළිම

නා.ප්‍ර. රෙදි ආදියෙහි අඳින ලද පැතලි සිතුවම සහ වටකුරු ලෙස නිර්මිත ප්‍රතිමාව/ කැටයම් කරන ලද අනුරුව

පෙනුම

නා. දර්ශනය/ ස්වභාවය

පෙනෙල්ල

නා. එක් කෙළවරක ගිනි දැල්වෙන හෝ ගිනි නිවුණු හෝ දර කැබැල්ල

පෙනේරය

නා. පිටි ආදිය හලා ගන්නා උපකරණය (පුර්. peneria)

පෙඳය

නා. පක්ෂියකුගේ පිටුපස පිහාටු කලබ

පෙය්‍ය

නා.ප්‍ර. පානය කළ යුතු දෙය (පා. සං. පෙය්‍ය)

පෙය්‍යාලය

නා. ලිවීමේ දී පළමු යෙදුණු දීර්ඝ පාඨයක් නැවත යෙදීමේ දී ‘පෙ’ යන්න යොදා සංක්ෂේප කිරීම (පා. පෙය්‍යාල)