අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 251

මළ

වි. මැරුණු (සං. මෘත)

මළ ඉළවු

නා.ප්‍ර. කරදර හිරිහැර ගෙන දෙන දෙය; වැඩකට නැති දෙය

මළකුණ

නා. මැරුණු සත්ත්ව ශරීරය

මළපත

නා. මරණය දන්වන ලියමන

මළමිනිය

නා. මෘත ශරීරය

මළුව

නා. මිදුල; සීමා මාලකය (පා. මාලක, මාළක සං. මාලක)

ම්ලාන

වි. මිලාන

ම්ලේච්ඡ

වි. අශිෂ්ට/ අනාර්ය (සං. ම්ලෙච්ඡ)

මාංජිෂ්ඨ

නා.ප්‍ර. මදටිය රත්පැහැය (පා. මඤ්ජෙට්ඨ සං. මාංජිෂ්ඨ)

මාංස

නා.ප්‍ර. සත්ත්ව ශරීරයෙහි ඇති මස්/ ඵලයක ඇතුළත පිහිටි මදය (පා. මංස සං. මාංස)

මාංසජනකධාතු

නා.ප්‍ර. ප්‍රෝටීන්

මාංසපේශි

නා.ප්‍ර. මස් පිඬුව (සං. මාංසපෙශි පා. මංසපෙසි)

මාංසල

වි. මස් සහිත (සං. මාංසල)

මාගධී

නා.ප්‍ර. පාලි භාෂාව (පා. සං. මාගධී)

මාගල

නා. ලොකු පැදුර

මාඝාතය

නා. සතුන් මැරීම නැවැත්වීම සඳහා රජු විසින් පනවනු ලබන නියෝගය (පා. මාඝාත)

මාණව

නා.ප්‍ර. තරුණයා (පා. සං. මාණව)

මාණවකයා

නා. තරුණයා (සං. මාණවක)

මාණවිකාව

නා. මෙණෙවිය (පා. සං. මාණවිකා)

මාණ්ඩලික

වි. පාලන ශ්‍රේණියට අයත් (සං. මාණ්ඩලික)

මාණික්‍යය

නා. මැණික (සං. මාණික්‍ය)

මාත්සර්ය

නා.ප්‍ර. තමන් සතු දෑ හා රුචි කරන දෙය අන්සතුවනු දැකීමට ඇති විරුද්ධ ස්වභාවය (සං. මාත්සර්ය)

මාත්‍රාව

නා. ස්වල්පය/ වරකට ගතයුතු බෙහෙත් ප්‍රමාණය/ කෙටි ප්‍රාණාක්ෂරය; ලුහු අකුරක් හැඬවීමට යන කාලය/ සංගීතයෙහි ශබ්දයක් පවතින කාලය (සං. මාත්‍රා)

මාතෘ

වි. උපත දෙන/ ප්‍රධාන/ මව් (සං. මාතෘ)