අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 307

විලම්බීත

නා.ප්‍ර. තේරුමක් නැති දේ; විකාර දේ

විලයනය

නා. ඝන ද්‍රව්‍යයක් රත් කොට ද්‍රව බවට හැරවීම

විලවුන්

නා. ශරීරයේ ගල්වන සුවඳ ආලේපය (පා. විලෙපන)

විල්ලුද

නා.ප්‍ර. වටිනා සිනිඳු රෙදි වර්ගයක් (ලති. villus)

විල්ලුව

නා. වගා කළ නොහැකි වගුරක් ව පවතින භූමිය

විලාපය

නා. මහහඬින් කෑගැසීම (සං. විලාප)

විලායකය

නා. විද්‍යුත් ධාරාවක් ගමන් කිරීම වළක්වන විද්‍යුත් පරිපථ උපක්‍රමයක්

විලාසය

නා. ආකාරය (සං. විලාස)

විලාසිනිය

නා. විසිතුරු ලෙස සැරසුණු ස්ත්‍රිය (සං. විලාසිනි)

විලි

වි. පැසුණු; පරිණත (පා. විලීන)

විලිකුන්

වි. පැසුණු; ඉදුණු

විලිරුදාව

නා. ප්‍රසව වේදනාව

විලීන

වි. ද්‍රව වූ; උණු වූ (පා. සං. විලීන)

විලුම්පනය

නා. පැහැර ගැනීම; කොල්ලකෑම (පා. සං. විලුම්පන)

විලුඹ

නා. විළුඹ

විලේපනය

නා. සිරුරෙහි ගල්වන කල්කය (පා. විලෙපන)

විලෝකනය

නා. බැලීම (පා. විලොකන)

විලෝපනය

නා. විලුම්පනය (පා. සං. විලොපන)

විලෝපියා

නා. අනෙක් සතුන් ගොදුරු කර ගන්නා සත්ත්වයා (පා. විලොපී සං. විලොපින්)

විලෝම

වි. අනුකූල නොවූ; විපරීත (පා. විලොම)

විවරණය

නා. විස්තර කොට කීම/ පෙනෙන්නට සැලැස්වීම; විවෘත කිරීම (පා. සං. විවරණ)

විවාදය

නා. දෙපක්ෂයක් අතර ඇති වන තර්ක කිරීම; විරුද්ධ මත ඉදිරිපත් කරමින් දෙපක්ෂයක් විසින් කතා කිරීම (පා. සං. විවාද)

විවිධ

වි. නොයෙක් ආකාර (පා. සං. විවිධ)

විවිධාංගකරණය

නා. අනේකප්‍රකාර අංග ඇති කිරීම