අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 310

විෂහරණය

නා. විෂ නැති කිරීම/ සූසැට කලා අතුරින් එකක්

විෂ්කම්භය

නා. මැඬලීම/ මිනුම් ප්‍රමාණයක්/ වෘත්තයක කේන්ද්‍රය මැදින් අඳින ලද පරිධියෙන් කෙළවර වන ඍජු රේඛාව (සං. විෂ්කම්භ)

විෂ්ණු

නා. හින්දු දෙවියකුගේ නාමය (සං. විෂ්ණු)

විෂ්ණුක්‍රාන්ති

නා.ප්‍ර. නිල් පාට මල් සහිත කුඩා ඖෂධ පැළෑටියක්

විෂාදය

නා. කලකිරීම; කනස්සල්ල/ ක්‍රෝධය; කෝපය (සං. විෂාද)

විසංඥ

වි. සිහියක් නැති; සිහිමූර්ඡා වූ (සං. විසංඥ පා. විසඤ්ඤ)

විසකුරු

වි. දරුණු විෂ සහිත; විෂඝෝර

විසදෘශ

වි. අසමාන; වෙනස් (සං. විසදෘශ)

විසන්ධි

වි. සන්ධි නොවූ; වෙන් කළ

විසඳනවා

ක්‍රි. නිරාකරණය කරනවා (පා. විස්සජ්ජෙති)

විසඳුම

නා. ගැටලුවක් නිරාකරණය කොට ලැබූ උත්තරය

විසම

වි. විෂම

විසමූර්ඡාව

නා. විසෙන් මුසපත් වීම

විසඹ

නා.ප්‍ර. විශ්‍රම්භය; විශ්වාසය/ ප්‍රේමය; ආදරය/ මෙවුන්දම (සං. විශ්‍රම්භ)

විසඹ සොඬ

වි. ප්‍රේමයට ලොල් වූ

විසරණය

නා. ව්‍යාප්තිය; පැතිරීම

විසර්ගය

නා. පහ කිරීම; බැහැර වීම/ සිංහල වර්ණ මාලාවේ ‘ඃ’ ලෙස ඇති සංකේතය (සං. විසර්ග)

විසර්ජන පනත

නා. යම් යම් කාර්යයන් සඳහා මුදල් වෙන් කිරීමට පාර්ලිමේන්තුවෙන් අවසර ලබා ගැනීම

විසර්ජනය

නා. විසඳීම/ ඉවත් කිරීම/ මෝචනය/ වෙන් කිරීම (සං. විසර්ජන)

විසර්ජනීය

නා. සිංහල වර්ණ මාලාවේ ‘ඃ’ ලෙස ඇති සංකේතය; විසර්ගය (සං. විසර්ජනී)

විස්තරණය

නා. පිම්බීම; මහත් කිරීම

විස්තීර්ණ

වි. පැතුරුණු; විසිරුණු (සං. විස්තීර්ණ)

විස්තෘත

වි. පැතිරුණු; විහිදුණු; පතළ (සං. විස්තෘත)

විස්ථාපනය

නා. තැනකින් තැනකට යැවීම; තැන් වෙනස් වීම; තෙරපී යෑම (සං. විස්ථාපන)