අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 331

සංයමය

නා. හික්මීම; සන්සුන් බව (පා. සං. සංයම)

සංයුක්ත

වි. කොටස් කිහිපයකින් යුක්ත වූ; එකට මිශ්‍ර වූ (සං. සංයුක්ත)

සංයුක්තාක්ෂර

නා.බහු. බැඳි අකුරු

සංයුජතාව

නා. හයිඩ්‍රජන් පරමාණුවකට හෝ ඊට සම වන වෙනත් දෙයකට හෝ අනුව පරමාණුවක හෝ කාණ්ඩයක සංයෝජනය වීමේ බලය

සංයුතිය

නා. යම් ද්‍රව්‍යයක අඩංගු මූලද්‍රව්‍යයන් හෝ සංයෝග පිළිබඳ විස්තරය; යමක් සකස් ව ඇති ආකාරය

සංයෝජනය

නා. බැඳීම; එක්වීම (පා. සං. සංයොජන)

සංරක්ෂණ

වි. මනා සේ රකින; ආරක්ෂා කරන (සං. සංරක්‍ෂණ)

සංලක්ෂණය

නා. හඳුනාගැනීම (සං. සංලක්‍ෂණ)

සංලක්ෂ්‍යය

නා. විශේෂ සටහන (සං. සංලක්‍ෂ්‍ය)

සංලග්න

වි. එකට ඇලුණු (සං. සංලග්න)

සංලාපය

නා. එක් ව කථා කිරීම (සං. සංලාප පා. සල්ලාප)

සංවත්සරය

නා. වර්ෂය; වර්ෂ පූර්ණ උත්සවය (සං. සංවත්සර)

සංවරණය

නා. හික්මීම; කාය, වාග් සංවරය (පා. සං. සංවරණ)

සංවර්ණනාව

නා. අර්ථ සැපයීම (සං. සංවර්ණන)

සංවර්ධනය

නා. දියුණුව (සං. සංවර්ධන)

සංවහනය

නා. රත් වූ තාප ධාරා මඟින් තාපය ගමන් කිරීම (සං. සංවහන)

සංවාදය

නා. දෙදෙනකු අතර පවතින සාකච්ඡාව; දෙබස (සං. සංවාද)

සංවාසය

නා. එක් ව විසීම/ මෙවුන්දම (පා. සං. සංවාස)

සංවිග්න

වි. සංවේගයට පැමිණි; කැලඹුණු; උදම් වූ (සං. සංවිග්න)

සංවිධානය

නා. ක්‍රමවත් ව කටයුතු යෙදීම/ පිළිවෙළක් ඇති කාර්ය මණ්ඩලය; හවුල; එකතුව (සං. සංවිධාන)

සංවිධායකයා

නා. කටයුතු ක්‍රමානුකූල ව සැලසුම් කරන්නා

සංවිභාගය

නා. තම ප්‍රයෝජනයට ඇති දෙයින් බෙදා දීම (පා. සං. සංවිභාග)

සංවීක්ෂණය

නා. ඉතා සුපරීක්ෂාකාරී ව බැලීම (සං. සංවීක්‍ෂණ)

සංවෘත

වි. සංවර වූ/ වැසුණු (සං. සංවෘත)