සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1156

බාහිරාවරණය

වි. පිටතට නැමුණු ; පිටතට කැරකැවුණු.

බාහු

නා.ප්‍ර. බාහුව.

බාහු යුද්ධය

නා. අතින් පහර දෙමින් කරන සටන ; මල්ලව පොරය ; ගුස්ති ඇනීම.

බාහුල්‍යය

නා. බොහෝබව ; බහුලකම ; සුලභත්වය.

බාහුලික

වි. සිව්පසය බහුලව රැස්කොට තබාගන්නා වූ ; සුඛෝපභෝගී වූ.

බාහුව

1. නා. කිහිල්ල සිට ඇඟිලි කොන් දක්වා ඇති ශරීරාංගය ; අත ; හස්තය.
2. ජීවින්ගේ ඉදිරි ගාත්‍රය.
3. අතක් වැනි උපකරණය.
4. ඉණිමං පෙති සවි කොට ඇති දෙපස ලී ; ඉණිමං රිට.

බැංකු අණකරය

(පාරිභා.) නා. බැංකු ගිණුමකින් ලිඛිත නියෝගයක් මඟින් මුදල් ලබාගැනීම ; බැංකුවකට එක් ශාඛාවකින් තවත් ශාඛාවකට මුදල් ගෙවීම කරන නියෝගය.

බැංකු ගිණුම

නා. ගනුදෙනුකරුවන් තම මුදල් තැන්පත් කිරිමට හෝ ඒවා ගනුදෙනු කිරීම සඳහා හෝ බැංකුව සමග ඇති කරගන්නා ගණන්-හිලව් ගිවිසුම.

බැංකුව

නා. ගනුදෙනුකරුවන්ගේ මුදල් හා මුදල් ගනුදෙනු භාරව සිටින ආයතනය.

බැක්ටීරියාව

නා. ශාක වර්ගයට අයත් ඒක සෛලීය ජීව විශේෂයක්.

බැගෑව

නා. අනුකම්පාවට සුදුසු වන සේ දුකට පත් වීම ; දුඃඛිතභාවය.

බැට

1. නා.ප්‍ර. පහර ; ප්‍රහාරය ; ගුටිය.
2. ඇටය ; අස්ථිය.
3. පිදුරු ඉවත් කළ පසු කමතේ ඉතිරි වන වී.

බැණ ගන්නවා

1. ක්‍රි. කථා කරනවා ; සාකච්ඡා කරනවා.
2. එකිනෙකාට නින්දා අපහාස දොඩවනවා ; අන්‍යෝන්‍ය වසයෙන් පරිභව බස් කියනවා.

බැණ නගිනවා

1. ක්‍රි. එක්වර ම කථා කරනවා ; හදිසියේ අමතනවා.
2. හඬ නංවනවා ; ඝෝෂා කරනවා.

බැත

(කථා.) නා.ප්‍ර. ගොයම් පාගා පිදුරු ඉවත් කිරීමෙන් පසු කමතේ තිබෙන වී ; කමතේ දී වී වලට ව්‍යවහාර වන නම.

බැති

වි. ඇදහීමකින් යුත් ; විශ්වාසයෙන් යුක්ත ; භක්තියෙන් යුක්ත.

බැතිය

1. නා. ශ්‍රද්ධා ගෞරව සම්මිශ්‍ර අවනතභාවය ; ඇදහීම.
2. ස්නේහය ; ආදරය.

බැතිරේක

නා.ප්‍ර. සාධ්‍යයේ අභාවය කීමෙන් හේතුවේ අභාවය දැක්වීමේ තර්ක ලක්ෂණය.

බැද්ද

නා. කැලය ; වන ලැහැබ.

බැදෑණි

1. නා.ප්‍ර. සහෝදරයාගේ බිරිඳ ; බිරියගේ සහෝදරිය ; මාමාගේ හෝ නැන්දණියගේ දියණිය ; නෑනා.
2. තමා හා විවාහ ගිවිසගත් කත.

බැදුම

1. නා. තෙලෙන් කර කරගත් ව්‍යඤ්ජනය ; බැද ගත් මාලුව හෝ මස.
2. පොර බැදීම ; පොර ඇල්ලීම.

බැඳි

1. වි. බඳින ලද ; (වටකොට) දවටාලු.
2. (එක පිට එක තබා) සවි කළ ; සම්බන්ධ කළ.
3. උපයා, සපයා තිබූ ; රැස් කළා වූ.
4. (යමක්) බහාලූ ; පුරාලූ.
5. රචනා කරන ලද ; ප්‍රබන්ධිත.
6. වසඟ කළ, නතු කළ.
7. හිර වූ ; අවහිර වූ.

බැඳියාව

නා. ඥාතී මිත්‍රත්වාදී වශයෙන් ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව ; පෞද්ගලික සම්බන්ධය.

බැඳීම

1. නා. ගැට ගැසීම ; එකට සම්බන්ධ කිරීම.
2. සෑදීම ; ඉදිකිරීම.
3. වගකිව යුතු ප්‍රමාණය.
4. ඇලීම.
5. අත් අඩංගුවේ ලෑම.
6. රචනා කිරීම ; ප්‍රබන්ධ කිරීම.