සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1155

බාල අපරාධකාරයා

නා. අපරාධ සිදු කිරීමට පෙළඹෙන බාලවයස්කාර ළමයා.

බාල කරනවා

1. ක්‍රි. යමක වටිනාකම හෝ තත්ත්වය ඕනෑකමින් අඩුවීමට සලස්වනවා.
2. බාල දේ මිශ්‍ර කරනවා.
3. වටිනා දෙයක් තවත් දෙයක් සමග මිශ්‍ර කරනවා ; තනු කරනවා.

බාල ග්‍රහ දෝෂය

නා. ග්‍රහයින් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයන් හේතුවෙන් ළදරුවන්ට වැළදෙතැයි සැලකෙන භූතදෝෂයක්.

බාලකපක්ෂාඝාතය

නා. ඇතැම් පේශි අක්‍රිය කිරීමේ ලක්ෂණය ඇති ව ළමා වියේ දී වැලඳෙන රෝගයක් ; පෝලියෝ රෝගය.

බාලකයා

නා. බාල වයසෙහි සිටින්නා ; දරුවා.

බාලදක්ෂයා

නා. බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකයා.

බාලයා

1. නා. බාල වයස් ඇත්තා ; වයසින් අඩු තැනැත්තා.
2. ළදරුවා ; ළපැටියා ; කුඩා දරුවා ; ළමයා ; ළමා වයස නොඉක්මවූ තැනැත්තා.
3. නුවණ අඩු තැනැත්තා ; අඥානයා ; මෝඩයා.
4. යම්කිසි සේවයක යෙදී මෙහෙ කරන්නා ; සේවකයා ; මෙහෙකරු.
5. පවුලක දරුවන් අතර වයසින් අඩු ම තැනැත්තා ; බඩපිස්සා.
6. නීතියෙන් පිළිගන්නා ලද වයස සම්පූර්ණ කොට නැති තැනැත්තා.

බාලවයස්කාරයා

නා. යම් යම් කටයුතු තනිව තීරණය කිරිමේ ශක්තියක් නැති, අඩු වයසෙහි සිටින්නා.

බාල්කය

නා. කුරුපාව උසුලා සිටීමට යොදාන ලොකු ලීය.

බාල්දිය

නා. පනිට්ටුව ; බකට්ටුව.

බාල්දු

වි. පහත් ; අඩු ; සැහැල්ලු.

බාල්දුව

1. නා. සුළුකොට තැකීම; පහත්බව.
2. නිග්‍රහය ; නින්දාව.

බාල්‍ය

වි. ළමාවිය පිළිබඳ ; ළදරු ; ළමා.

බාලාපචාරය

නා. බාල වයස්කාරයන්ගේ හෙවත් ළමයින්ගේ සමාජ විරෝධී සාපරාධී පැවැත්ම ; බාලාපරාධය.

බාලාර්ක

[බාල + අර්ක]
වි. පායාගෙන එන හිරුට අයිති ; උදාවන සූර්යයා හා සම්බන්ධ.

බාලාර්කයා

නා. උදයේ පායා ගෙන එන හිරු ; ළහිරු.

බාලිකාව

නා. ගැහැණු ළමයා ; ළාබාල දැරිය.

බාලොලිය

නා. ළපටි ස්ත්‍රිය ; ළාබාල යුවතිය.

බාව

1. නා. අත ; බාහුව.
2. කිඹුලු, කබර, තලගොයි ආදීන්ගේ වලිගය.

බාසුරු

නා. බහසුරු බ.

බාහ්‍ය

වි. පිටස්තර ; බාහිර වූ.

බාහිත

වි. දුරු කළ ; බැහැර කළ.

බාහිර

1. වි. බැහැර ; පිටස්තර.
2. වැඩිපුර ; අමතර ; ආගන්තුක.

බාහිරස්ථ

(පාරිභා) වි. පිටත පිහිටි ; බැහැර වූ ; පිටතින් එන.