සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 227

ආර්ය ඵලය

නා. උතුම් වූ හෙවත් ශ්‍රේෂ්ඨ වූ ඵලය; නිවන කරා පවතින සෝතාපත්ති, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන සතර ඵලය.

ආර්ය භාෂාව

නා. ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් භාෂාව.

ආර්ය මාර්ගය

නා. උතුම් වූ මාර්ගය; අත්‍යුත්තම මාර්ගය; සෝතාපත්ති ආදියෙන් යුක්ත නිර්වාණ මාර්ගය.

ආර්ය ශ්‍රාවකයා

නා. නිර්වාණ මාර්ගයෙහි යටත් පිරිසෙයින් පළමු ඵලය වන සෝතාපත්තියටවත් පැමිණි තැනැත්තා.

ආර්ය ශීලය

නා. ආර්ය භාවයට හේතු වන ශීලය; කල්‍යාණ පෘථග්ජනයන්ගේ චතුර්විධ පාරිශුද්ධි ශීලය.

ආර්ය සත්‍යය

නා. බුද්ධාදි ආර්යයන් විසින් අවබෝධ කොට වදාළ සත්‍යය; චතුරාර්ය සත්‍යය.

ආර්ය සිංහල

වි. විදේශීය සිරිත් විරිත් ආදියෙන් සංකර නොවූ නියම පිරිසිදු සිංහල ගති පැවතුම් ඇති.

ආර්යාව

නා. උත්තමාංගනාව; උත්තමිය; කුල කාන්තාව.

ආර්ෂ

වි. සෘෂිවරයකු විසින් භාවිත කරන ලද; සෘෂිවරයකු පිළිබඳ.
1. නා.ප්‍ර. සෘෂීන්ගේ භාෂාව; ජෛන සූත්‍රයන්ගේ භාෂාව.
2. නා.ප්‍ර. ආර්ෂ විවාහය.

ආර්ෂ විවාහය

නා. පුරාණ භාරතයේ පැවති අෂ්ටවිධ විවාහයන්ගෙන් එකක්; සෘෂිවරයන්ගෙන් පැවත ආ විවාහ ක්‍රමයක්; මනාලයාගෙන් ගව ජෝඩුවක් ලබා ගෙන දියණිය විවාහ කරදීමේ චාරිත්‍රය සිදුවන ක්‍රමය.

ආරාමය

1. නා. ප්‍රීතිය; සොම්නස.
2. නා. උයන; උද්‍යානය.
3. නා. භික්ෂූන් හෝ තවුසන් හෝ වසන නිවස්න.

ආරාවාර

වි. කලාතුරකින් සිදුවන; විරල.

ආරිය

1. නා.ප්‍ර. ඈත අතීතයෙහි වයඹ දිග ගිරි දුර්ග ඔස්සේ උතුරු ඉන්දියාවට සංක්‍රමණය කළ මනුෂ්‍ය වර්ගය.
2. නා.ප්‍ර. ඔවුන් කථා කළ භාෂා ගණය.
3. නා.ප්‍ර. උත්තමයා; ශ්‍රේෂ්ඨයා.
4. නා.ප්‍ර. බුද්ධ ශ්‍රාවකයා.
5. නා.ප්‍ර. ස්වාමියා; ගුරුවරයා; මිත්‍රයා.

ආරු නූල

1. නා. මැණිකක් තුළ පිහිටන නූල් සයක් සේ පෙනෙන වයිරම.
2. නා. එක් තැනකින් විහිදෙන නූල් හයක් මෙන් වයිරම ඇති මැණික් වර්ගයක නාමය.

ආරුක්කුව

1. නා. බිත්ති හෝ කුලුනු දෙකක් සම්බන්ධ වන පරිදි ඉහළින් අර්ධ කවාකාර හැඩය සිටින සේ කරන නිර්මාණය; බෝක්කුව.
2. නා. අර්ධ කවාකාරව නමන ලද උණ පතුරු වැනි නම්‍යශීලී දැව දඬුවක ගොක් රැහැන් බැඳ තනන සැරසිල්ල.

ආරූඪ

1. වි. නැඟුණු; ආරෝහණය කළ.
2. වි. ආවේශ වුණු; වැහුණු.
3. (ව්‍යාක.) වි. වාච්‍යාර්ථ නොවන; ආරෝපිත.
4. වි. සඳහන් කරන ලද; අන්තර්ගත.
1. නා.ප්‍ර. නැඟීම; ආරෝහණය; අරා සිටීම.
2. නා.ප්‍ර. යක්ෂ භූතාදීන් වැහීම; ආවේශය.

ආරූඪ නාමය

නා. නියම නම වෙනුවට යොදා ගන්නා නම; බොරු නම.

ආරූඪ බදුකුලිය

(පාරිභා.) නා. භූමිය හැර අනෙක් නිෂ්පාදන සාධකවලට ලැබෙන අතිරික්ත ආදායම (=quasi rent).

ආරූඪාර්ථය

නා. ආරෝපණය කර ගත් තේරුම; වාච්‍යාර්ථයට අනුකූල නොවූ අර්ථය.

ආරෙට යනවා

(කථා.) ක්‍රි. පාරම්පරිකව එන ගතිගුණ හා අංගලක්ෂණ පිහිටනවා; පරම්පරාවෙන් පරම්පරාවට පැවත යනවා.

ආරෝග්‍යය

නා. ලෙඩින් තොර බව; නිරෝග බව; සනීපය.

ආරෝචනය

නා. සැල කිරීම; දන්වා සිටීම; ප්‍රකාශ කිරීම.

ආරෝපණය

1. නා. නැංවීම; නැඟීම; උස්සා තැබීම.
2. නා. දෝෂයක් යමකු පිට පැවරීම; ගුණයක් හෝ අගුණයක් ආරූඪ කිරීම.
3. නා. පැළ කිරීම; සිටුවීම.
4. (පාරිභා.) නා. විදුලිබලය කැවීම; විදුලිය පිරවීම (=charge).

ආරෝහ පරිණාහය

නා. උස හා ඊට සරිලන මහත; උස මහත.