සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 811

ද්විච්ඡේද

වි. එක සමාන කොටස් දෙකකට වෙන් කරන ලද; සමසේ දෙකට කැපූ.

ද්විජ

1. නා. බ්‍රාහ්මණයා; බමුණා.
2. නා. පක්ෂියා; දෙවරක් උපන් බැවින් පක්ෂියා ද්විජ වේ.

ද්විත්ව

වි. දෙකක් වූ; දෙකක්බවට පත් වූ; යුග්ම; ද්වන්දව.

ද්විත්ව ගණුදෙනු

නා.ප්‍ර. එක් රටක මුදල් වෙනත් රටක මුදල් බවට (වැඩි ලාභයත් තිරසර බවත් පතා) මාරු කර ගැනීමෙන් කරන හුවමාරුව.

ද්විත්ව සටහන්

(පාරිභා.) නා.ප්‍ර. ගණන් තැබීමේ ක්‍රමයක්; එක් කාරණය දෙවරක් ලෙජරයේ සටහන් කොට ගණන් තැබීමේ ක්‍රමය (=double entry).

ද්විතීය

වි. දෙවැනි; දෙවැනි ස්ථානය ගන්නා; අප්‍රධාන.

ද්විතුණ්ඩ කපාටය

(පාරිභා.) නා. වම්හෘත් කර්ණිකාවේ සිට වම්හෘත් කෝෂිකාවට ලේ යෑම පාලනය කරන එහෙත් ආපසු යාමට ඉඩ නොදෙන කපාටය (=bicuspid valve).

ද්විප

නා. දෙවරක් බොන්නා; ඇතා; හස්තියා.

ද්විපද

1. වි. පා දෙකක් ඇති; ද්විපාද.
2. වි. පද හෝ පාදක දෙකක් ඇති.

ද්විපය

නා. හාත්පසින් ම ජලයෙන් වට වූ ගොඩබිම; දිවයින.

ද්විපාර්ශ්වික වෙළඳාම

(පාරිභා.) නා. රටවල් දෙකක් අතර කෙරෙන වෙළඳ කටයුතු; පාර්ශ්ව දෙකක් එකිනෙක පාර්ශ්ව සමග ගනුදෙනු කරන ක්‍රියාපටිපාටිය.

ද්විභාෂා

වි. භාෂා දෙකකින් උගන්වන; ද්විභාෂාත්මක

ද්විභූමක

වි. මහල් දෙකක් ඇති; විශේෂයෙන් දෙමහල් ගොඩනැගිලි සඳහා යෙදේ.

ද්විමාන

වි. දිග සහ පළල යන මාන දෙකෙන් යුතු.

ද්විලිංග

1. (පාරිභා.) වි. ස්ත්‍රී ලිංගික සහ පුරුෂ ලිංගික අවයව ඇති (=bisexual).
2. වි. ජායාංගය සහ පුමංගය යන කොටස් දෙකෙන් ම යුක්ත; ද්විකේශර.
3. (ව්‍යාක.) වි. ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග යන දෙකටම පොදු.

ද්විලිංගිකයා

නා. ස්වභාවයෙන් ම ස්ත්‍රී පුරුෂ ලිංග දෙකෙන් යුත් සත්ත්වයා.

ද්විවාර්ෂික

1. (පාරිභා.) වි. අවුරුදු දෙකක් ජීවත් වන; ආයුකාලය අවුරුදු දෙකක් තුළ සම්පූර්ණ කරන්නාවූ; දෙවැනි අවුරුද්දේ දී මල්පල හටගන්නා.
2. වි. දෙවසරක් පවත්නා; දෑවුරුද්දකට වරක් සිදුවන.

ද්විවිධ

වි. දෙවැදෑරුම්; දෙයාකාර.

ද්වේෂය

නා. වෛරය; ක්‍රෝධය; නුරුස්සන ස්වභාවය.

ද්වෛත

වි. දෙකකින් යුක්ත; දෙකක් සහිත: දෙකකට හෝ දෙදෙනෙකුට සම්බන්ධ.

ද්වෛධය

1. නා. දෙයාකාර බව; ද්විධත්වය.
2. නා. බැලූ බැල්මට එකට එක ප්‍රතිවිරුද්ධ මෙන් පෙනී යන මතය; විරෝධෝක්තිය.

ද්වෝධරි

නා.ප්‍ර. හනු ඇටය පහත් කිරීමටත් උගුරු ඇටය උස් කිරීමටත් උපකාරි වන දිව මතුපිට ඇති ශීර්ෂ දෙකකින් යුත් පේශිය.

ද්‍යුත

නා.ප්‍ර. දූ කෙළිය, සූදු ක්‍රීඩාව.

ද්‍යුත ක්‍රීඩාව

නා. යම්කිසි වස්තු ආදියක් ඔට්ටුවට තබා පස ඇට හෝ සතුන් තරගයෙහි යොදවා, ජය ගැනීම පිණිස කරනු ලබන ක්‍රීඩාව.