අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 246

මන්තය

නා. හැට්ට කර වටා අල්ලන රැලි පටිය/ නැට්ටුවන්ගේ ඉණ වටා බඳින රැලි පටිය (පුර්. manto)

මන්ත්‍රණය

නා. කළ යුත්ත පිළිබඳ ව කරන සාකච්ඡාව (සං. මන්ත්‍රණ)

මන්ත්‍රිණිය

නා. මන්ත්‍රීවරිය (සං. මන්ත්‍රිණී)

මන්ත්‍රීධුරය

නා. මන්ත්‍රී තනතුර (සං. මන්ත්‍රිධුර)

මන්ථනය

නා. කැලතීම; ඇලළීම (සං. මන්‍ථන)

මන්ථය

නා. කැලතීම සඳහා ගන්නා උපකරණය (පා. සං. මන්ථ)

මන්ද

නා.ප්‍ර. වරපට; රැහැන/ මද්ද; තොණ්ඩුව/ අඥානයා; අලසයා/ ශනි ග්‍රහයා වි. අල්ප; මද (පා. සං. මන්‍ද)

මන්දපෝෂණය

නා. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් පෝෂණය ලැබීම

මන්දබුද්ධික

වි. මඳ නුවණ ඇති (සං. මන්‍දබුද්ධි)

මන්දස්මිතය

නා. මඳ සිනාව (සං. මන්‍දස්මිත)

මන්දාකිනී

නා.ප්‍ර. ආකාශ ගංගාව/ තාරකා සමූහය (පා. සං. මන්‍දාකිනී)

මන්දායුෂ්ක

වි. ස්වල්ප වූ ආයුෂ ඇති

මන්දාරම

නා. අහස වැසි වලාකුළුවලින් වැසී අඩ අඳුරින් පැවතීම (දෙ. மந்தாரம்)

මන්දිරය

නා. මාලිගාව; මැඳුර (පා. සං. මන්‍දිර)

මන්නය

නා. කැත්ත වැනි කැපුම් අවියක් (දෙ. மணை)

මනා

වි. යහපත්; සිත්කලු/ සුදුසු; යෝග්‍ය

මනිනවා

ක්‍රි. ප්‍රමාණය නිගමනය කරනවා (පා. සං. මිනාති)

මනුව

නා. යමක් මිනුම්ගත කෙරෙන යාන්ත්‍රික උපකරණය; මීටරය

මනුෂ්‍ය

වි. මිනිස්; මානව (සං. මනුෂ්‍ය)

මනෝඥ

වි. සිත්කලු (සං. මනෝඥ)

මනෝභාව

නා.ප්‍ර. සිත අභ්‍යන්තරයෙහි ඇති වන හැඟීම් (සං. මනොභාව)

මනෝමූල

වි. සිත ප්‍රමුඛ කොට ඇති

මනෝරංජනය

නා. සිත ඇලවීම; සිත සතුටු කිරීම (සං. මනොරඤ්ජන)

මනෝරථපූරණය

නා. සිතෙහි ඇති බලාපොරොත්තුව සම්පූර්ණ කර ගැනීම