අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 305

විභජනය

නා. බෙදීම; කොටස් කිරීම (පා. සං. විභජන)

විභව

නා.ප්‍ර. ධනය/ ත්‍රිවිධ තෘෂ්ණාවන්ගෙන් එකක්/ නිවන/ විභව ශක්ති (පා. සං. විභව)

විභ්‍රමය

නා. ලීලාව/ කරකැවීම/ අනුමානය/ සිත අවුල් වීම (සං. විභ්‍රම)

විභ්‍රාන්තිය

නා. සිත අවුල්වීම (සං. විභ්‍රාන්ති)

විභාගය

නා. විස්තරය/ පරීක්ෂණය (පා. සං. විභාග)

විභීෂණ

වි. භයානක වූ නා.ප්‍ර. එනම් දෙවියකුගේ නාමය (සං. විභීෂණ)

විභූතිය

නා. සෞභාග්‍යය (පා. සං. විභූති)

විභූෂණ

නා.ප්‍ර. අලංකාරය; සැරසීම (සං. විභූෂණ පා. විභූසන)

විභේදනය

නා. වෙන්කිරීම (පා. සං. විභෙදන)

විමංශන

වි. සොයා බලන; පරීක්ෂා කරන (පා. වීමංස සං. වීමංශ)

විමධ්‍යකරණ

වි. මූලස්ථාන පාලනයෙන් බැහැර කරන

විමධ්‍යගත

වි. එක් මූලස්ථානයකින් පාලනය නොවන (පා. සං. විමධ්‍ය+ගත)

විමර්ශනය

නා. පරීක්ෂා කිරීම; විමසීම (සං. විමර්ශන)

විමල

වි. නිර්මල; පිරිසිදු (පා. සං. විමල)

විමානය

නා. වාසභවනය (පා. සං. විමාන)

විමාර්ජනක්ෂම

වි. මැදීමට සුදුසු; මට්ටම් කිරීමට සුදුසු

විමෝක්ෂ

වි. මිදීම; සසර දුකින් මිදීම; නිවන (සං. විමොක්‍ෂ)

විමෝචනය

නා. පිට කිරීම; නිකුත් කිරීම (පා. සං. විමොචන)

වියතාණ

නා.ප්‍ර. ගරු කටයුතු උගත් තැනැත්තා

වියන

නා. ගෞරවය හෝ පිරිසිදු භාවය වෙනුවෙන් ඉහළින් යොදන රෙද්ද (පා. සං. විතාන)

වියමන

නා. රෙදි, පැදුරු ආදි වියන ලද දෙය.

වියරණය

නා. කථාවේ දී හෝ ලිවීමේ දී හෝ භාෂාව මෙහෙයවීම පිළිබඳ සම්මතය/ ප්‍රකාශය (සං. ව්‍යාකරණ)

වියල

නා. ඔරුවල මෙන් ඇඳ, පුටු ආදියෙහි ඇති හරස් ලීය (දෙ. விட்டம்)

වියවුල

නා. කලබලය; ආරාවුල (සං. ව්‍යාකූල)

වියළනය

නා. යමක් වේළීම සඳහා භාවිත කරන උපකරණය