අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 38

ආර්යාව

නා. උත්තම ස්ත්‍රිය/ ප්‍රභූ කාන්තාව (සං. ආර්යා)

ආර්ෂ

වි. ඍෂිවරයකු විසින් භාවිත කරන ලද (සං. ආර්ෂ)

ආරාධනය

නා. ඉල්ලීම; අයැදුම/ සතුටු කිරීම/ ආදර ගෞරව දැක්වීම; ප්‍රණාමය (පා. සං. ආරාධන)

ආරාධිත

වි. ආරාධනය කරන ලද (පා. සං. ආරාධිත)

ආරූඪ

වි. නැඟුණු; ආරෝහණය කළ/ ඇතුළත්; සඳහන් කරන ලද (සං. ආරූඪ)

ආරෝග්‍යය

නා. ලෙඩින් තොර බව; සනීපය (පා. සං. ආරොග්‍ය)

ආරෝචනය

නා. ප්‍රකාශ කිරීම; සැල කිරීම (පා. ආරොචන)

ආරෝපණය

නා. නැංවීම; නැඟීම/ යමකු පිට පැවරීම/ පැළ කිරීම/ විදුලි බලය කැවීම (පා. සං. ආරොපණ)

ආරෝහණ

වි. නඟන; ක්‍රමයෙන් වැඩි වන (පා. සං. ආරොහණ)

ආරෝහපරිණාහ

වි. උසට නිසි මහත ඇති; කඩවසම් (පා. ආරොහපරිණාහ)

ආලකමන්දාව

නා. අලකාපුරය; කුවේරයාගේ වාසභවනය (පා. ආලකමන්‍දා)

ආලත්ති

නා.ප්‍ර. ආශිර්වාද හා ගෞරවාචාර වශයෙන් පහනක් ගෙන කරන පූජාව/රංගනය (දෙ. ஆலத்தி)

ආලපන

නා.ප්‍ර. ඇමතීම; ආමන්ත්‍රණය (පා. සං. ආලපන)

ආලම්බනය

නා. එල්ලෙන දෙය; ආධාරය/එල්ලීම (පා. සං. ආලම්බන)

ආලය

නා.ප්‍ර. ඇල්ම; ආදරය/ගෘහය (පා. සං. ආලය)

ආලස්‍යය

නා. අලස බව; කුසීත බව (සං. ආලස්‍ය)

ආලානය

නා. ඇතුන් බඳින ටැඹ (පා. සං. ආලාන)

ආලාපය

නා. කතා බහ/කථාව/ගීයක රාග ස්වරූපය හැඳින්වීමට ඊට අයත් ස්වර සමූහය ගායනය කිරීම (සං. ආලාප)

ආලිංගනය

නා. වැලඳ ගැනීම (පා. සං. ආලිඞ්ගන)

ආලින්දය

නා. පිළ; ඉස්තෝප්පුව (පා. සං. ආලින්‍ද)

ආලිප්ත

වි. ආලේප කළ (සං. ආලිප්ත)

ආලිස්සම

නා. අලස බව; කම්මැළිකම/ අවිනිශ්චිත බව (දෙ. ஆலட்சியம்)

ආලේඛ්‍යය

නා. ලිවීම/සිතුවම/සිතුවම් ඇඳීම (සං. ආලෙඛ්‍ය)