සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1043

ප්‍රබෝධකය

1. නා. උනන්දු කරවන්න ; දිරි ගන්වන්න ; උත්තේජකය.
2. (පාරිභා.) ක්‍රියාකාරිත්වය ලබාදෙන දෙය ; සක්‍රියකය.

ප්‍රබෝධනය

1. නා. පිපෙන්නට සැලැස්වීම ; විකසනය ; පුබුදුවීමට සැලැස්වීම.
2. විහිදී යෑමට සැලසීම.
3. අවදි ව සිටීමට දිරි දීම ; නිද්‍රාවෙන් තොර කරවීම.

ප්‍රබෝධය

1. නා. (මල්) පිපීම ; විකසිත වීම ; විකාසය.
2. උද්‍යෝගය ; උනන්දුව ; දිරිය.
3. සතුට ; ප්‍රීතිය.
4. අවදි බව ; නිද්‍රා රහිත බව.
5. දියුණුව ; අභිවර්ධනය ; උද්දීපනය.

ප්‍රභව

1. වි. හටගත් ; උද්ගත ; ප්‍රාදුර්භූත.
2. උපත දුන් ; හට ගැනීමට ස්ථාන වූ ; පහළ කළ.

ප්‍රභව ප්‍රඥප්තිය

නා. දුක සහ දුක හට ගැනීම පිළිබඳ තථාගතයන් වහන්සේ විසින් දක්වන ලද නියමය.

ප්‍රභව ස්ථානය

1. නා. හටගත් තැන ; උත්පත්ති ස්ථානය.
2. හේතු වූ කරුණ ; තුඩු දුන් දෙය ; නිදානය.
3. මුල ; ආරම්භය.
4. භූමි කම්පාවක කේන්ද්‍ර ස්ථානය.
5. මූලස්ථානය ; අධිකාරය.

ප්‍රභවය

1. නා. හට ගැනීම ; උපත.
2. ආශ්‍රය ස්ථානය ; ජන්ම ස්ථානය ; ආරම්භක ස්ථානය.
3. හේතු සාධකය ; මූලාශ්‍රය ; මූල හේතුව.

ප්‍රභා මණ්ඩලය

1. නා. රස් වළල්ල ; රස් මඬල ; ආලෝක වළල්ල.
2. ඇතැම් අවස්ථාවල හිරු සහ සඳු රැසින් අහසෙහි ඇති වන අති විශාල වෘත්තය.
3. සම්පූර්ණ සූර්යග්‍රහණයක දී ආවරණය වූ සූර්යයාගෙන් විහිදී චන්ද්‍ර බිම්බය වටා පෙනෙන අතිශය දීප්තිමත් වූ ද, ඔටුන්නක හැඩයට තරමක් සමාන වූ ද රශ්මි මාලාව.
4. ප්‍රභා ගෝලය.

ප්‍රභාකර

වි. ආලෝකය ඇති කරන ; දීප්තිය දනවන ; රශ්මිය උපදවන.
නා.ප්‍ර. හිරු ; දිවයුරු.

ප්‍රභාතය

නා. අලුයම ; පාන්දර.

ප්‍රභාතාලෝකය

[ප්‍රභාත + ආලෝකය]
නා. උදා වන හිරුගෙන් වැටෙන එළිය ; බාලාතප කිරණ.

ප්‍රභාභීතිකාව

නා. එළිය ඉවසිය නොහැකි බව ; ඇස්වල අසාමාන්‍ය ආලෝක සංවේදිතාව ; ආලෝකයට ඇති බිය.

ප්‍රභාමත්

වි. කාන්තියෙන් යුත් ; දීප්තිමත් ; පැහැපත් ; ප්‍රභාවත්.

ප්‍රභාව

1. නා. කාන්තිය දීප්තිය ; බැබළීම.
2. රශ්මිය ; කිරණ.
3. එළිය ; ආලෝකය.
4. පාට ; වර්ණය.
5. බලපෑම ; ආභාසය ; ආනුභාව.

ප්‍රභාවර්තී

වි. ආලෝකය වැඩි පැත්තට නැමෙන සුලු ; වැඩි ප්‍රදීපනය ඇති දිශාවට ආවර්තනය වන.

ප්‍රභාවිච්ඡේදනය

(පාරිභා.) නා. ආලෝකය හේතු කොටගෙන වියෝජනය වීම හෝ විඝටනය වීම.

ප්‍රභාවිත

වි. ආලෝකය ලද ; ආභාසය ලබාගත් ; ප්‍රභාව ලද.

ප්‍රභාෂණය

නා. ශාස්ත්‍ර ධර්මාදිය සියුම් ලෙස විග්‍රහ කිරීම ; මැනවින් අරුත් පැහැදිලි කිරීම ; පැහැදිලි අර්ථ ව්‍යාඛ්‍යානය.

ප්‍රභාසංශ්ලේෂණය

නා. හරිත ශාක විසින් සූර්යාලෝකය උපයෝගී කොටගෙන, කාබන්ඩයොක්සයිඩ් වායුව සහ ජලය සංයෝජනය කිරීමෙන් කාබොහයිඩ්රේට් තනා ගැනීම, කාබන්ස්වීකරණය.

ප්‍රභාසන්නමනය

(පාරිභා.) නා. ආලෝකයේ තීව්‍රතාව වෙනස්වීම අනුව, දිසාවකට අසම්බන්ධ ව ප්‍රතිචාරයක් දැක්වීම.

ප්‍රභාස්වර

නා.ප්‍ර. සියලු වර්ණ එක් වී වෙන් වෙන් ව දැක්වෙන වර්ණ සංකලනය ; එක තැන එක විට පවතින වර්ණ සමූහය.
වි. බබළන ; දීප්තිමත් ; ප්‍රභාසම්පන්න.

ප්‍රභාස්වර විඥානය

නා. නොවෙනස් වන සදාකාලික විඥානය.

ප්‍රභින්න

1. වි. විනිවිද ගිය ; විවෘත කරන ලද.
2. ප්‍රභව වූ ; පැන නැංගා වූ ; උද්ගත වූ.
3. (හස්තීන් සම්බන්ධයෙන් යෙදේ.) විදාරිත වූ කොපුල් තල ඇති ; මඳ වෑහුණු ; මදෝත්කට.

ප්‍රභූ

වි. අධිපති ; ඉසුරුමත්.
නා.ප්‍ර. ඉසුරු ඇත්තා ; ප්‍රධානයා ; ස්වාමියා.