සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 679

ජීවසීමාව

නා. ජීවිතය පවත්නා කාල නියමය; ආයු කාලය; ජීවිතාන්තය.

ජීවසෛල

(පාරිභා.) නා.ප්‍ර. ජීවියකුගේ සිරුරෙහි ඇති ඉතා ම කුඩා කොටස්; ජීවාංශු; ජීවාණු.

ජීව්‍ය

(පාරිභා.) වි. ජීවත් වීමට හා ස්වභාවික ලෙස වැඩීමට සමත්; ජීවත් විය හැකි.

ජීවාක්ෂරය

[ජීව + අක්ෂරය]
නා. පණකුර; ප්‍රාණාක්ෂරය; ස්වරය.

ජීවාණුනාශකය

නා. (රෝග බෝ කරන) ජීවාණුවන් හෝ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන රසායන ද්‍රව්‍යය හෝ ද්‍රවය.

ජීවාණුව

[ජීව + අණුව]
1. (පාරිභා.) නා. රෝග බෝ කරන ක්ෂුද්‍ර බීජය.
2. නා. කාබනික ද්‍රව්‍යයන්ගෙන් ඉතාම කුඩා ඒකකය; සෛලය.

ජීවාණුහරණය

නා. රෝගයන්ට හේතුකාරක වන ජීවාණුවන් හෝ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම; වන්ධ්‍යකරණය

ජීවාත්මක වාදය

1. නා. අචේතනික සචේතනික වස්තු කෙරෙහි ජීවාත්මය ඇතැයි සැලකීම.
2. නා. සත්ත්ව ජීවීතයේ පැවැත්ම අද්‍රව්‍යමය ආත්මයකින් හට ගනී යැයි යන මතය.
3. නා. හුදු භෞතික වූ හෝ රසායනික වූ හෝ බලවේගයක් නොව, අන්‍යතර නියාම ධර්ම ජීවීන්ගේ හට ගැන්ම කෙරෙහි බලපෑ හැකි ය යන මතය.

ජීවාත්මය

[ජීව + ආත්මය]
නා. (වේදාන්ත දර්ශනයෙහි සඳහන්) පුද්ගල ආත්මයක ඉඳුරන් ඇසුරු කොට ශබ්දා දි රස විදුනා ජීවය.

ජීවාරක්ෂක පටිය

(පාරිභා.) නා.ප්‍ර. (හදිසියකදී) ජීවිතය බේරා ගැනීම සඳහා (ගුවන් මඟින් හා සාගර කිමිදුම්කරුවන්) බඳ වටා බැඳ ගන්නා පටිය (=life belt).

ජීවිකා වෘත්තිය

නා. ජීවත්වීම සඳහා කරන රැකියාව; ජීවනෝපාය; වෘත්තිය.

ජීවිකාව

නා. දිවි පවත්වා ගැනීම; දිවි පෙවෙත; ජීවත් වීම.

ජීවිත දානය

නා. මරණයට නියම වූවකුගේ ජීවිතය බේරා ගැනීම; නොමරා මුදා ගැනීම.

ජීවිත පරිත්‍යාගය

නා. දිවි පිදීම; අනුන්ගේ යහපත සඳහා සිය ජීවිතය කැප කිරීම.

ජීවිත බුක්තිය

නා. කෙනකු තම දේපළ ආදිය අන් අයට පැවරීමේදී ඒවා තමාගෙ ජීවිතාන්තය තෙක් භුක්ති විඳීමට තබා ගන්නා අයිතිය.

ජීවිත රක්ෂණය

නා. යම් ජීවිත හානියක දී තම ජීවිතයෙන් යැපෙන අයට ප්‍රයෝජන ලැබෙන පරිදි තම ජීවිතය රක්ෂණය කර ගැනීම.

ජීවිත සහතිකය

නා. ජීවිත රක්ෂණ ඔප්පුව.

ජීවිතක්ෂය

නා. දිවි නැතිවීම; ජීවිත හානිය; මරණය.

ජීවිතාරක්ෂාව

[ජීවිත + ආරක්ෂාව]
1. නා. ජීවිතයට අනතුරක් විය නොදී රැකීම; ජීවිතයේ ආරක්ෂාව.
2. නා. ජීවිතය පවත්වාගෙන යාම.

ජීවිතාලය

[ජීවිත + ආලය]
නා.ප්‍ර. ජීවිතය පිළිබඳ ඇති ඇල්ම; ජීවත්වීමේ ආශාව.

ජීවියා

නා. ප්‍රාණය ඇත්තා; ප්‍රාණියා; සත්ත්වයා.

ජීවේන්ද්‍රිය

[ජීව + ඉන්ද්‍රිය]
නා.ප්‍ර. ජීවියකුගේ හෝ ශාකයක ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය (කාර්ය කොට්ඨාස ඉටු කරන) අංග හෙවත් අවයව; දේහාවයවය.

ජුගුප්සනය

නා. (අලං.) පිළිකුල් කිරීම; හෙළා දැකීම; අප්‍රිය කිරීම.

ජුගුප්සාව

නා. පිළිකුල, අප්‍රිය භාවය.