අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 328

සංක්ෂේප

වි. කෙටි; ලුහුඬු; එකට සම්බන්ධ කළ (සං. සංක්‍ෂෙප)

සංක්ෂේපණය

නා. කෙටියෙන් පැවසීම (සං. සංක්‍ෂෙපණ)

සංක්ෂෝභණය

නා. කැලඹීම; නොසන්සුන් බව (සං. සංක්‍ෂොභණ)

සංක්ෂෝභය

නා. කැලඹීම; කලබලය/ සෙලවීම (සං. සංක්‍ෂොභ)

සංක්‍රමණ

වි. ආගමන විගමන; මාරු වන/ බෝවන (සං. සඞ්ක්‍රමණ)

සංක්‍රාන්තිය

නා. පවතින තත්ත්වයෙන් වෙනස් වීම (සං. සඞ්ක්‍රාන්ති)

සංකාව

නා. සැකය; අනුමානය (පා. සංකා)

සංකීර්ණ

වි. සරල නොවූ; විවිධ ලක්ෂණයන්ගෙන් යුක්ත (සං. සඞ්කීර්ණ)

සංකීර්තන

නා.ප්‍ර. ගෞරව සම්මානය/ සංගීත ප්‍රසංග ක්‍රමයක් (සං. සඞ්කීර්තන)

සංකුචනය

නා. කුඩා වීම; හැකිළීම (පා. සං. සඞ්කුචන)

සංකුපථ

නා.ප්‍ර. වැල්වල එල්ලී යා යුතු පාර (පා. සංකුපථ)

සංකුල

වි. අවුල් වූ/ තදබද වූ (පා. සං. සඞකුල)

සංකේත

නා.ප්‍ර. සලකුණ; නිමිත්ත (සං. සඞ්කෙත පා. සංකෙත)

සංකේන්ද්‍රණය

නා. එක් ස්ථානයකට රාශිභූත කිරීම

සංකෝචනය

නා. හැකිළීම; තිබෙන ප්‍රමාණයෙන් කුඩා වීම (පා. සං. සඞ්කොචන)

සංඛත

වි. සංස්කරණය කරන ලද (පා. සංඛත සං. සඞ්ඛත)

සංඛය

නා. හක්ගෙඩිය; සක; ශඞ්ඛය (පා. සංඛ සං. ශඞ්ක)

සංඛ්‍යාත

වි. කියන ලද/ ගණන් ගන්නා ලද/ අන්තර්ගත (පා. සං. සඞ්ඛ්‍යාත)

සංඛ්‍යාන

වි. සංඛ්‍යා පිළිබඳ වූ

සංඛ්‍යාපථය

නා. ගණන් කිරීමේ සීමාව

සංඛ්‍යාලේඛන

නා.ප්‍ර. ක්‍රමවත් ව හා විද්‍යානුකූල ව රැස් කළ ගණන් විස්තර

සංඛ්‍යාව

නා.ප්‍ර. ගණන; ගණනක් දක්වන සංකේතය (පා. සං. සඞ්ඛ්‍යා)

සංඛාර

නා.ප්‍ර. කුසල අකුසල කර්ම (පා. සඞ්ඛාර)

සංඛෙය්‍ය

වි. ගණන් කළ හැකි (පා. සඞ්ඛෙය්‍ය)