සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1391

ලාඤ්ඡනය

1. නා. යමක කොටා හෝ යොදා ඇති සලකුණ ; සටහන ; චිහ්නය ; නිල ලකුණ.
2. යම් කිසිවක් සංකේතවත් කරන සලකුණ.

ලාටු

නා.ප්‍ර. ඇලෙන සුළු ද්‍රව්‍යයක් ; මැලියම් ; ගම්.

ලාටු ග්‍රන්ථිය

නා. කෘමීන්ගේ උදරයේ අග පිහිටි ග්‍රන්ථි විශේෂයක්.

ලාඩම

නා.ප්‍ර. බර අදින අශ්ව, ගොන් ආදි සතුන්ගේ කුර ගෙවීම වළක්වනු සඳහා සවි කරනු ලබන යකඩ පතුරු විශේෂයක්.

ලාඩම් විල

නා. ගංගාවක් ගලා යෑමේදී අධික ලෙස වක්‍ර හට ගැනීම නිසා ක්‍රමයෙන් ගඟෙන් වෙන් වී අශ්ව ලාඩමක හැඩයෙන් යුක්ත ව පවතින දිය කඩ.

ලාදර බත

නා. ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල විවාහ මංගල්‍යවලදී මඟුල් දිනට පෙර දින රාත්‍රියේ උදව්කළ නෑදෑයන් සඳහා පවත්වනු ලබන භෝජන සංග්‍රහයක්.

ලාදුරු

නා.ප්‍ර. සමෙහිත් ස්නායුවලත් ශ්ලේෂ්මල පටලවලත් ගැට-ගැට සෑදී සම රළු ව අංග හැලී යන දරුණු බෝවෙන රෝගයක්.

ලානය

නා. ගැනීම ; ඇල්ලීම ; ආදානය.

ලාපත

නා.ප්‍ර. සිවුරු මැසීම සඳහා නූල්බැසීමේ දී පාවිච්චි කරන කෝදුව.

ලාපය

1. නා. කථාව ; කතාබහ ; වචනය ; ආලාපය.
2. පක්ෂීන්ගේ රාවය හෙවත් නාදය.

ලාභ ආන්තිකය

නා. ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනස.

ලාභ තෘෂ්ණාව

නා. සිවුපසය කෙරෙහි ඇති ආශාව ; තමාට ලැබෙන දේවල් අත්කර ගැනීමේ තණ්හාව.

ලාභ පරිණාමය

නා. ලාභය වෙනත් අයකුට පැවරීම ; යම් පුද්ගලයකු විසින් දීමට අදහස් කරන දෙයක් තමාට හෝ වෙනත් අයකුට ලැබීමට සැලැස්වීම.

ලාභය

1. නා. යම් යම් දේ ලැබීම ; අත්පත්වීම.
2. ලැබෙන දෙය ; ප්‍රත්‍යය.
3. වාසිය ; ප්‍රයෝජනය.
4. යම්කිසි ව්‍යාපාරයක් ලැබූ ආදායමෙන් වියදම් කපා හැරීමෙන් පසු ඉතිරි වන මුදල.

ලාභස්ථානය

නා. (ජ්‍යෝති.) යමකුගේ ජන්ම පත්‍රයෙහි ආදායම් ආදි ලාභ ප්‍රයෝජන ගැන කියැවෙන ස්ථානය ; අයස්ථානය ; කේන්ද්‍රයක එකොළොස්වැන්න.

ලාභාංශය

නා. හවුල් ව්‍යාපාර සමාගමක ලාභය කොටස් ගණනින් බෙදූ විට එක් එක් කොටස්කරුවකුට ලාභ පොළී ආදි වශයෙන් ලැබෙන ප්‍රමාණය.

ලාභාපේක්ෂාව

[ලාභ + අපේක්ෂාව]
1. නා. තමන් කරන කවර හෝ කටයුත්තකින් හෝ ලාභ ප්‍රයෝජන ලබාගැනීමේ බලාපොරොත්තුව.
2. (යම් ව්‍යාපාරයකින්) ලාභ ලබා ගැනීමේ බලාපොරොත්තුව.
3. (විනය.) සිව්පසය ආදිය ලබාගැනීමේ බලාපොරොත්තුව.

ලාභාලාභ ගිණුම

(පාරිභා.) නා. තමන්ගේ දැනගැනීමට ව්‍යාපාරිකයන් විසින් හර-බැර වශයෙන් පොත්වල ලියා සටහන් කර තිබෙන ගිණුම් විස්තරය.

ලාභාලාභය

[ලාභ + අලාභය]
1. නා. ලාභය සහ අලාභය ; ලැබෙන දෙය හා සිදුවන පාඩුව ; යමක් ලැබීම හා ලැබුණු දේ නැති වී යාම.
2. ආදායම හා වියදම ; ව්‍යාපාරයකින් සියලුම වියදම් කපා හැරීමෙන් පසු ලැබෙන ලාභය හෝ අලාභය.

ලාභි

වි. ලැබීම ඇත්තා වූ ; ලැබෙන සුලු.

ලාභියා

නා. ලබන තැනැත්තා ; ලබන්නා.

ලාමක

වි. නොමේරූ ; මෝඩ ; අඥාන ; බොළඳ ; පහත් ; හීන ; නීච.

ලාම්පු ආවරණය

නා. විදුලි බුබුළුවල තද ආලෝකය අඩුකර ගැනීම සඳහා එම විදුලි බුබුළු වැසෙන සේ සවි කිරීමට සාදා ඇති ආවරණ විශේෂය ; පහන් පුවරුව.