අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 56

උද්ඝෝෂණය

නා. යමකට විරෝධය පෑම් වශයෙන් කෑගැසීම; ආවේගශීලී ව හඬ නැඟීම (සං. උද්ඝොෂණ)

උද්දාමය

නා. ප්‍රීතියෙන් ඉපිලීම; උතුරා ගිය ප්‍රීතිය (පා. සං. උද්දාම)

උද්දිෂ්ට

වි. කියන ලද; සඳහන් කළ (සං. උද්දිෂ්ට)

උද්දීපනය

නා. හැඟීම් දැල්වීම; ප්‍රබෝධ කිරීම (සං. උද්දීපන)

උද්දීප්ත

වි. බැබළුණු; ප්‍රබෝධවත් වූ (සං. උද්දීපන)

උද්දේශය

නා. දැක්වීම; පෙන්වාදීම; කීම/ නම් වශයෙන් සඳහන් කිරීම (සං. උද්දෙශ)

උද්දේසික

වි. නියම කොට පිළියෙල කළ; බුදුරදුන් උදෙසා කළ (පා. උද්දෙසික)

උද්දේසික චෛත්‍යය

නා.ප්‍ර. බුදුරදුන් උදෙසා කළ බුදු පිළිම ආදිය

උද්ධච්ච

වි. විසිරුණු සිත් ඇති; උඩඟු; අහංකාර (පා. උද්ධච්ච)

උද්ධච්ච කුක්කුච්ච

නා.ප්‍ර. සිතෙහි ඇති වන නොසන්සුන් බව හා කුකුස (පා. උද්ධච්චකුක්කුච්ච)

උද්ධත

වි. ඉහළට නැඟුණු; එසවුණු/ උස් වූ; මහත්/ උඩඟු; අහංකාර (පා. සං. උද්ධත)

උද්ධමනය

නා. නිෂ්පාදනය වැඩි නොවී ඉල්ලුම ඉහළ යාම හා මුදල් සංසරණය බහුල වීම නිසා භාණ්ඩ හා සේවා මිල ශීඝ්‍ර ලෙස වැඩිවීම

උද්ධරණය

නා. උඩට ගැනීම; උදුරා දැමීම; ඇද ගැනීම; උපුටා ගැනීම/ අවහිරය; බාධාව/ පලවා හැරීම/ අලුත්වැඩියා කිරීම (පා. සං. උද්ධරණ)

උද්ධෘත පාඨය

නා. යම් ලේඛනයකින් හෝ කතා පුවතකින් හෝ උපුටාගත් වාක්‍යය හෝ වාක්‍ය ඛණ්ඩය හෝ ඡේදය

උද්ධෘතය

නා. උපුටාගත් දෙය; වෙනත් ලේඛනයකින් ලබා ගත් කොටස (සං. උද්ධෘත)

උද්භිද

නා.ප්‍ර. වෘක්ෂලතා ගණයට අයත් ජීව වස්තුව; ශාකය (සං. උද්භිද)

උද්භිද විද්‍යාව

නා. වෘක්ෂලතාදි ජීව වස්තූන් පිළිබඳ හැදෑරීම

උද්වර්තනය

නා. ඉහළට යාම; නැඟීම/ ඇඟ ඉළීම; සම්බාහනය; ඇඟෙහි ආලේප යෙදීම (සං. උද්වර්තන)

උද්වහන

නා.ප්‍ර. ඉසිලීම; දැරීම/ පැතිරීම; විහිදීම/ වර්ධනය; වැඩීම (සං. උද්වහන)

උද්වේගය

නා. ත්‍රාසය; බියෙන් ඇලළීම (සං. උද්වෙග)

උද්‍යානය

නා. තුරුලිය, මල්ගොමු, ජලාශ ආදියෙන් අලංකාර වූ භූමිය; උයන (සං. උද්‍යාන)

උද්‍යෝගය

නා. උනන්දුව; දැඩි උත්සාහය (සං. උද්‍යොග)

උද්‍යෝත

වි. බබළන; දීප්තිමත් (සං. උද්‍යොත)

උදානය

නා. සිරුරේ ඉහළට ගමන් කරන වායුව/ ප්‍රීති වාක්‍යය (පා. සං. උදාන)